FAST NEWS

24×7 Around the Globe

ඩේටා ගාස්තු වැඩි කළ හේතුව ගැන රවී කියන අමුතුම කතාව මෙන්න…

 

සාමාන්‍ය දුරකතන ඇමතුම් වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩි කිරීමට හේතුවූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේය.

එහෙත් එය එතරම් විශාල වැඩිවීමක් නොවන බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ(24) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී නැගූණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“දුරකථන ආයතන අපිත් එක්ක කතා කරනකොට කිව්වා වොයිස් කෝල් වෙනුවට හුගක් වයිබර්, වට්සප් වගේ ඒවා භාවිතා වෙනවා කියලා, ඒක නිසා ආදායම අඩුවෙනවා කියලා, ඒ වෙනස වෙනින් රටවල තියෙනවා වගේ සම මට්ටම ගේන්න තමයි මේක කළේ” යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා මෙමගින් ආණ්ඩුවට ආදායමක් අපේක්ෂා කරන බව පිළිගත් අතරම දුරකතන සමාගම් වලට ද ආදායමක් හිමිවන බව පැවසුවේය.

නව බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනවානේ දැයි විමසූවිට අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ මීට පෙර ද ඊට ආසන්න මුදලක් බදු ලෙස අය කරගෙන තිබූ බවය.

නොමිලේ වයිෆයි සැපයීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක වන බව සඳහන් කළ අමාත්‍යවරයා සමාජ ජාලයන්හි සැරිසරන්නන්ට පමණක් නොව අධ්‍යපනය ලබන ශිෂ්‍යයින්ටද ඉදිරියේදී අන්තර්ජාලය සහනදායී ලෙස සැපයීමට පියවර ගන්නා බව ද පැවසීය.