FAST NEWS

24×7 Around the Globe

තුන්කොන් සටනේ අවසන් තරගයට යෑමට ශ්‍රී ලංකාවට අද තරගය තීරණාත්මකයි…

තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් සටනේ සිය ස්‌ථානය තහවුරු කර ගැනීමේ අභිප්‍රායෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායම සත්කාරක සිම්බාබ්වේ පිල සමගින් අද (21දා) බුලවායෝහිදී තරග වැදීමට නියමිතය.

මේ වන විට එක්‌ තරගයක්‌ පරාද වී එක්‌ තරගයක්‌ ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම අද තරගයේදී ජය වාර්තා කරගතහොත් කිසිම ගැටලුවකින් තොරව තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්‌ථාවක්‌ පවතී.

යම් හෙයකින් පරාජයට පත්වුවහොත් අනිද්දා කොදෙව් කණ්‌ඩායම සමග පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වනු ඇත. මේවන විට තරග දෙකකට සහභාගී වී සිටින සිම්බාබ්වේ පිල ඉන් එක්‌ තරගයක්‌ පරාජය වී අනෙක්‌ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ. ඒ අනුව අවසන් තරගය සඳහා පිවිසීමට නම් ඔවුන්ට මෙම තරගයේ ජය අනිවාර්ය සාධකයක්‌ වනු ඇත.

මීට ප්‍රථම ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගී වූ හරාරේ තණතීරුවට සාපේක්‌ෂව මෙම බුලවායෝ තණතීරුව පිතිකරුවන්ට කිසියම් සහයක්‌ දක්‌වන බවට පෙර තරගය දෙස බැලීමේදී පෙනෙන්නට තිබුණි.

කෙසේ නමුත් සිම්බාබ්වේ කණ්‌ඩායම සමග පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිලට කඩුලු 8 ක ජයක්‌ හිමි විය.