FAST NEWS

24×7 Around the Globe

ඔබාමා, ට්‍රම්ප් සම්බන්ධයෙන් ලෝක නායකයන්ට කළ ප්‍රකාශය මෙන්න…

 

ඇමෙරිකාවේ තේරීපත් නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අවස්ථාවක් ලබාදීමට ලෝක නායකයන් කටයුතු කළ යුතු බව ඇමෙරිකාවේ වත්මන් ජනපති බරැක් ඔබාමා පවසා තිබේ.

පේරූ රාජ්‍යයේදී, සෙනසුරාදා ඇරඹි ආසියානු – පැසිෆික් කලාපීය ආර්ථික සහයෝගීතා සමුළුව අමතමින් ඔබාමා මෙසේ පවසා ඇති බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

මෙම සමුළුවේදී ඔබාමාගේ විදේශ ප්‍රතිපත්තියට වඩා බොහෝ ලෝක නායකයන් තේරීපත් නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් හා කතාබහක් දක්වන බව තේරුම් ගනිමින්, බරැක් ඔබාමා මෙම ප්‍රකාශය සිදුකර ඇති බවද විශ්ලේෂකයෝ පෙන්වා දී තිබේ.

“නරක විතරක් දකින්න එපා. මම හිතන්නෙ ලොව පුරා කවුරු කවුරුත් කලින්ම අවසන් නිගමනයකට නොපැමිණීම වැදගත්. අලුතින් තේරීපත් වූ නව ජනාධිපතිවරයාටත්, ඔහුගේ කණ්ඩායම ඒකරාශී කරගෙන ගමනක් යන්න අවස්ථාවක් දෙන්න. අනතුරුව ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති ඔබට සලකා බලන්න පුළුවන්. මොකද, මැතිවරණ ව්‍යාපාරයක සිදුවන කතාබහ, සෑමවිටම රටක් පාලනය නොකරන බව අප සිහි තබාගත යුතුයි.”  යනුවෙන් මෙහිදී ඔබාමා වැඩිදුරටත් පවසා තිබේ.

ඔබාමගේ ඇමෙරිකානු තරුණ නායකත්ව ඇරඹුමේ සාමාජිකාවක වූ පේරු ජාතික සින්තියා පෙයිටාන් විසින් මෙම සමුළුව අතරතුර ඔබාමාට වඩාත් උණුසුම් පිළිගැනීමක් ලබාදීමද මෙවර සමුළුවේ කාගේත් කතාබහට ලක්වී තිබේ.