FAST NEWS

24×7 Around the Globe

ජනපති නියෝගය නොතකා බැඳුම්කර වංචාවට සම්බන්ධ ලොක්කන්ගේ පඩි වැඩි වන හැටි මෙන්න…

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ඉහළ නිලධාරීන් පිරිසකට 1:15 අනුපාතය යටතේ වැටුප් වැඩි කිරීම වහාම සංශෝධනය කළ යුතු බවට ජනාධිපති කළ නියෝගයට පවා ඇහුම්කන් නොදී එම වැටුප් වැඩි කිරීම තවමත් ක්‍රියාත්මක කරන බව,දූෂණ විරෝධී සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා අනාවරණය කර තිබේ.

සමරසිංහ මහතා පෙන්වා දෙන අන්දමට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් තුන්දෙනකුටත්, සහකාර අධිපතිවරුන් අට දෙනකුටත් 2015 වසරේ සිට ඉහළ දමා තිබෙන අති විශාල වැටුප් වැඩි කිරීම වහාම සංශෝධනය කළ යුතු බව ජනපති ලේකම් විසින් මුදල් අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබෙන්නේ 2016 පෙබරවාරි 11 වැනිදාය.

එසේ තිබියදී 2015 සිට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනාට සියයට 110ක වැටුප් වැඩි කිරීම එනම් රුපියල් 2,67,220ක් මත නව වැටුප රු. 5,48,308ක් වන බවත් සහකාර අධිපතිවරුන් අටදෙනාට සියයට 107ක වැටුප් වැඩි කිරීම තුළින් රුපියල් 1,93,021ක් වැඩි කිරීම මත නව වැටුප රු.4,51,627ක් වන බවත් සමරසිංහ මහතා පෙන්වා දී තිබේ.

ඒ මහතා චෝදනා කරන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව ආරක්ෂා කිරීම සඳහා මෙසේ එහි ඉහළ නිලධාරීන්ට ඉතා විශාල වැටුප් ප්‍රමාණයක් ලබාදීම හොරු රැළට ‍දොළපිදේනි පිදීමක් වන බවයි.

මේ ආකාරයට ජනපති නියෝගයවත් නොසලකමින් අත්තනෝමතිකව කටයුතු කරන්නේ තවදුරටත් බැඳුම්කර වංචාව ආරක්ෂා කිරීමට බව ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.