FAST NEWS

24×7 Around the Globe

නායක තරංග හා ධනංජය සිම්බාබ්වේ පරාජය ගැන රහස් මාධ්‍ය වෙත හෙළි කරයි…

තුන්කොන් තරගාවලිය යටතේ සිම්බාබ්වේ පිල සමග පැවැති තරගය ජය ගැනීමට හැකිවීම තමා ඇතුළු කණ්‌ඩායමට හොඳ හැඟීමක්‌ ගෙන දෙන්නක්‌ වූ බව කණ්‌ඩායම් නායක උපුල් තරංග පවසයි.

තරගය අවසානයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේදී ඉහත අදහස්‌ පළ කර සිටි ශ්‍රී ලංකා එක්‌දින නායකයා, එහිදී වැඩිදුරටත්, කණ්‌ඩායමේ සියලු දෙනාම සිය වගකීම් අකුරටම ඉටු කිරීම පහසු ජයග්‍රහණයකට මං විවර වූ බවද සඳහන් කර තිබේ.

‘ඇත්තටම මේ ජයග්‍රහණය හොඳ හැඟීමක්‌ ගෙන දෙන්නක්‌. කණ්‌ඩායමේ සියලුම දෙනාම සිය වගකීම් අකුරටම ඉටු කළ නිසා අපේ ජයග්‍රහණය පහසු වුණා. පන්දු යවන්නන් පන්දුව පතිත කළ යුතු නියමිතම ස්‌ථානයේ පන්දුව පතිත කරමින් සැලසුම් කළ ආකාරයටම පන්දු යෑව්වා’යි තරංග අදහස්‌ දක්‌වා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තරගයේ වීරයා බවට පත්වූ ආරම්භක පිතිකරු ධනංජය ද සිල්වා ද මාධ්‍ය හමුවේ අදහස්‌ දක්‌වමින්, දක්‌ෂ පිතිකරුවන් කිහිප පළක්‌ම සිටින සිම්බාබ්වේ කණ්‌ඩායමේ පිතිකරුවන් දැක්‌වූ දුර්වල දක්‌ෂතාවය ගැන තමා පුදුමයට පත්වූ බවද සඳහන් කර සිටියේය.

‘මම හිතන්නේ ඔවුන්ගේ ඇතැම් පිතිකරුවන් නිකරුණේ දැවී ගියා කියලයි. ඔවුන්ට පහසුවෙන්ම ලකුණු 200 ක්‌ හෝ 220 කට යැමේ අවස්‌ථාව තිබුණා. එහෙම වුණා නම් ඔවුන්ට යළිත් තරගයට පැමිණීමට හොඳ අවස්‌ථාවක්‌ තිබුණා’යි ධනංජය පවසයි.

‘අඩු ලකුණු සංඛ්‍යාවක්‌ වාර්තා වුණු තරගයක්‌ නිසා මට ඕන වුණා පළමු පන්දුවාර කීපයේදීම ආක්‍රමණකාරී ලෙසින් පන්දුවට පහර දෙන්න. අඳුරු සහිත කාලගුණයක්‌ තිබුණ නිසා පළමු පන්දුවාර කීපයේදීම තරමක්‌ දෙපසටම දෝලනය වුණා’යි සිය ඉනිම පිළිබඳව ධනංජය සඳහන් කරයි.

මෙම ලකුණු හඹා යැමේදී ධනංජය මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඔහු දැවී ගිය නමුත් එම පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද පන්යන්ගරාගේ ඉදිරි පාදය පන්දු යෑවීමේ සීමාවට වඩා ඉදිරියෙන් පතිත වීම හෙවත් නීති විරෝධී පන්දුවක්‌ ලෙස විනිසුරු සංඥා කිරීම නිසා සිය දෙවැනි එක්‌දින අර්ධ ශතකය ලබා ගනිමින් සිය කණ්‌ඩායම ජයග්‍රහණය වනතුරුම කඩුල්ලේ රැඳී සිටීමේ අවස්‌ථාව ධනංජය සතු විය.

‘හදිසියේවත් එය නිපන්දුවක්‌ නොවුණා නම් මේ ප්‍රතිඵලය වෙනස්‌ම එකක්‌ වෙන්න තිබුණා. ඒ පන්දුව ටිකක්‌ දෝලනය වුණා. යම් ලෙසකින් එයින් මාගේ කඩුල්ල අහිමි වුණා නම්, කණ්‌ඩායමේ තවත් කඩුලු කිහිපයක්‌ දැවී යැමේ අවදානමක්‌ ඇතිවන්නට තිබුණා’යි ධනංජය සඳහන් කර සිටියි.

කොදවේ කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර එක්දින තරගය අද පැවැත්වීමට නියමීත වේ.