FAST NEWS

24×7 Around the Globe

ධනංජය හා හේරත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රභල වෙනසක් කරයි..

සිම්බාබ්වේ කණ්‌ඩායම සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේදී පන්දු යවන්නකු ලෙස දක්‌වන ලද දක්‌ෂතා මත ජාත්‍යන්තර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්‌ථානය දක්‌වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ තාවකාලික ටෙස්‌ට්‌ නායකයා ලෙසින් කටයුතු කරන ලද රංගන හේරත් සමත්ව සිටියි.

මෙම තරගාවලියට පෙර තෙවැනි ස්‌ථානයේ පසුවූ හේරත් සිම්බාබ්වේ පැවැති ටෙස්‌ට්‌ තරග 2 දී කඩුලු 19 ක්‌ දවා ගනිමින් එම ශ්‍රේණිගත කිරීමේ දෙවැනි තැන පසුවූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේල් ස්‌ටේන්ව තෙවැනි තැනට ඇද දමමින් දෙවැනි ස්‌ථානයට පැමිණ තිබේ.

මෙහිදී හේරත් සිය 350 වැනි ටෙස්‌ට්‌ කඩුල්ලද සිම්බාබ්වේට එරෙහිව පැවැති දෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී ලබා ගැනීමද කැපී පෙනුණි.

මෙය හේරත් අදාළ ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්‌ථානය දිනාගත් පළමු අවස්‌ථාව නොවන අතර 2012 සහ 2014 වසරවලදී හෙතෙම දෙවැනි ස්‌ථානයට පත්ව තිබේ.

කෙසේ වෙතත් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙය හේරත්ගේ හොඳම අවස්‌ථාව ලෙසින් සටහන් වී තිබේ.

ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්, හේරත්ට වඩා ප්‍රසාද ලකුණු 14 ක්‌ ලබා අදාළ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්‌ථානයේ සිටියි.

මෙම තරගාවලියේදී පිතිකරුවකු ලෙස දක්‌ෂතා දැක්‌වූ ධනජය සිල්වාද මේ වන විට අදාළ පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ 30 වැනි ස්‌ථානය දක්‌වා පැමිණ සිටියි.