සතොස පෞද්ගලිකකරණය කරන්නේ නැහැ- සභාපති

සතොස පෞද්ගලිකකරණය කරන්නේ නැහැ- සභාපති

‘ලක් සතොස’ පෞද්ගලීකරණය කරන්නේ නැතැයි එහි සභාපති කිරාන් අතපත්තු මහතා දැඩිව අවධාරණය කෙළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ලබාදෙන මගපෙන්වීම් මත වඩාත් ජනතාවාදී ලක් සතොසක් බිහි කිරීමට කටයුතු කරන මොහොතේ ඒ පිළිබඳව වැරදි මත සමාජගත වී ඇතැයි පැහැදිලි කළ සභාපතිවරයා මේ බව කියා සිටියේය.

රුපියල් හත්කෝටි පනස්දහසක මුදලක් ආයෝජනය කොට ලක් සතොස ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන මොහොතේ, ඒ ගැන වැරැදි මත පැතිර තිබීම පිළිබඳව කනගාටු වන බව ද සභාපතිවරයා කීය.

මේ රජය යටතේ ‘ලක් සතොස’ පෞද්ගලීකරණය කිරීමට සිතාවත් නැහැ. මේ රජය කිසිම රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කරන්නේ නැහැ. ඒවාගේම ලක් සතොස නඟාසිටුවීමට මුදල් ඇමැති රවි කරුණානායක මහතාත්, වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාත් විශාල පරිශ්‍රමයක් දරා කටයුතු කොට තිබෙනවා.

අපි නවීකරණය වූ ලක් සතොසක් ලබන 07 වැනිදා පටන් බිහිකරනවා. මේ වසර නිමාවනවිට ලක් සතොස 350 විවෘත කරනවා. දැනට තිබෙන්නේ 304ක් යැයි ද සභාපතිවරයා කීය.