FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ ජයග්‍රහණයයේ රහස හේරත් කියයි – ළහිරු කුමාර ගැනත් අනාවැකියක් කියයි..

සිම්බාබ්වේ පිල සමග පැවැති පළමු ටෙස්‌ට්‌ තරග ජයග්‍රහණය කිරීමේදී එහි පූර්ණ ගෞරව වේග පන්දු යවන්නන් හිමිවිය යුතු බව එම තරග සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබන රංගන හේරත් සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාවට ලකුණු 225 ක ජයක්‌ අත්කර දෙමින් හරාරේ ක්‍රීඩාංගණයේදී පෙරේදා (02 දා) නිමාවට පත්වූ පළමු ටෙස්‌ට්‌ තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී හේරත් මෙම අදහස්‌ පළ කළේය.

සිය කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනා ඔවුන් සතුවූ 100% ක ශක්‌තියකින් මෙම තරගයේදී පන්දු යෑවූ බව හේරත් මෙහිදි පෙන්වා දුන්නේය.

”මේ තරගයේදී දඟ පන්දු යවන්නන්ට වැඩි යමක්‌ කිරීමට නොහැකි වුණු නිසා සිම්බාබ්වේ පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දුන්නා. නමුත් අපේ පන්දු යවන්නන් ඔවුන් සතු 100% ක ශක්‌තියකින් මේ තරගයේදී පන්දු යෑව්වා. ඒක තමයි මේ ජයග්‍රහණයට ප්‍රධාන වුණේ. ඒ නිසා මේ ජයග්‍රහණයේ වැඩි ගෞරවයක්‌ වේග පන්දු යවන්නන්ට හිමිවිය යුතුයි”

සමස්‌ථයක්‌ ලෙස මෙම තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමේ දැවී ගිය කඩුලු 20 න් කඩුලු 8 ක්‌ම දවා ගැනීමට සුරංග ලක්‌මාල් සහ ළහිරු කුමාර සමත්වීම කැපී පෙනුණි.

මෙය ළහිරු කුමාරගේ මංගල ටෙස්‌ට්‌ තරගය වූ අතර එහිදී ඔහු පළමු ඉනිමේ එක්‌ කඩුල්ලක්‌ සහ දෙවැනි ඉනිමේදී අත්‍යවශ්‍යම කඩුලු 2 ක්‌ වූ ආරම්භක පිතිකරු චරීගේ සහ පළමු ඉනිමේ අර්ධ ශතක ලාභී පීටර් මුවර්ගේ කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය දක්‌වා රැගෙන යැමේ වැඩි දායකත්වයක්‌ දැක්‌වීය.

මට නම් ඔහු ඉතාම ප්‍රයෝජනවත් පන්දු යවන්නෙක්‌ යෑයි ශ්‍රී ලංකා නායකයා සිය නවතම වේග පන්දු අවිය වූ ළහිරු කුමාර පිළිබඳවද මෙහිදි අදහස්‌ දැක්‌වීය.

“ළහිරු කියන්නේ කඩිසර ක්‍රීඩකයෙක්‌. මට විශ්වාසයක්‌ තියෙනවා ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අනාගතයට කදිම ආයෝජනයක්‌ වේවි කියලා”