FAST NEWS

24×7 Around the Globe

අබාධිත පුද්ගලයින්ට නොසැලකුවහොත් දඬුවම් ලැබෙන හැටි මෙන්න…

 

මෙරට සෑම පොදු ස්ථානයකම හා ගොඩනැගිල්ලකම අබාධිත පුද්ගලයන්ට ඇතුල්වීමට අවශ්‍ය පහසුකම් සහිත ඇතුලත්වීමේ මාර්ග සකස් කලයුතු බවට රජය නීති සකසා ඇති නමුත්, එම පහසුකම සපයා ඇත්තේ අවම වශයෙන් බැවින්, එසේ නොකළ අයට එරෙහිව ඉදිරියේදී රජය මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසා තිබේ.

ඉදිරියේදී සියලු ඉදිකිරීම් වලදී මෙම පහසුකම අනිවාර්ය කරන බවද හෙතෙම අවධාරණය කර තිබේ.

දෙසැම්බර් මස 03 වන දිනට යෙදී තිබෙන අබාධිතයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමේ උත්සවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද(03) දින පැවති රැස්වීමේදී ඔහු එම කාරණය සඳහන් කර තිබේ.

අබාධිතයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික උත්සවය මෙවර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව, පුලතිසිපුර ජාතික විද්‍යාපීට පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කොට තිබේ.

මෙම ජාතික උළෙල තුලදී විවිධ ක්ෂේත්‍ර තුල දක්ෂතා දැක්වූ අබාධිත පුද්ගලයන් ඇගයීමට ලක් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන වසන්ත සේනානායක මහතා සහ සිඩ්නි ජයරත්න මහත්වරුන් සහභාගී වූ අතර ප්‍රදේශයේ සියලුම රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන වල නිලධාරීන් පිරිසක්ද සහභාගී වී තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස් බී අමාත්‍යවරයා සඳහන් කලේ ජනගහනයෙන් 18% කට වැඩි ප්‍රමාණයක් විවිධ අබාධ වලින් පෙලෙන පුද්ගලයින් ලංකාව තුල සිටින අතර ඔවුනට අවශ්‍ය පහසුකම් සේවා සැපයීම වෙනුවෙන් රජය තම උපරිම කාර්ය භාරය ඉටු කරන බවයි.