FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය රහස් වාර්තා වෙබ් වලට පිටවීම ගැන රහස් පොලිසිය කරන ප්‍රකාශය මෙන්න…

 

මහ බැංකු මූල්‍ය මණ්ඩලය වෙත භාරදිය යුතු රහස්‍ය වාර්තා තෙවන පාර්ශවයක් වෙත පත්වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බවට රහස් පොලිසිය ඊයේ (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දන්වා තිබේ.

”බැඳුම්කර වංචාවේ තවත් රහස්‍ය වාර්තාවක් එළියට” යන ශීර්ෂය යටතේ වෙබ් අඩවි දෙකක එම වාර්තාව පලවී තිබේ.

ප්‍රාථමික වෙළෙදුන් වන (Perpetual Treasuries Limited) වූ වෙළඳ සංගමයේ මෑතකාලීන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහ බැංකු මූල්‍ය මණ්ඩලය වෙත භාරදිය යුතු රහස්‍ය වාර්තාවක් මෙලෙස මෙම වෙබ් අඩවි තුළ පළවී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

එම රහස්‍ය වාර්තාව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ බැංකු නොවන මූල්‍ය අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් සකස් කර තිබේ.

මෙම කණ්ඩායම සුපරීක්ෂණයට තවත් කණ්ඩායමක් සිට ඇති බවද වාර්තා වේ.

මෙහි Soft Copy, මුද්‍රිත පිටපත් නිලධාරින් සන්තකයේ තිබෙන පරිගණකවල ඇති බවත් 2016/10/03 රහස්‍ය වාර්තාව පිටපත කෙටුම්පත් කරන ලද මුදල් මණ්ඩල පත්‍රිකා ද සමඟ www.lakutruth.com වෙබ් අඩවියේ බැඳුම්කර වංචාවේ තවත් රහස්‍ය වාර්තාවක් යනුවෙන් සහ 16/10/4 මීට අදාළ වාර්තාව www.colombotelegraph.com යන වෙබ් අඩවියේ ද ප්‍රචාරය වී තිබේ.

මූල්‍ය වෙළඳපොළේ හා ආර්ථිකයේ රහස් තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත පත්වීමෙන් ජාතික මට්ටමේ ආර්ථික කළමනාකරණයට බලපෑම් එල්ල විය හැකි බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මේ අනුව අදාළ පරිගණක පිටපත අනවසරයෙන් යම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වන බවද රහස් පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බවත් අධිකරණය වෙත දැනුම්දී තිබේ.