FAST NEWS

24×7 Around the Globe

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට යන්නේ නියම සුදුස්සන් නෙමෙයිද…?

 

නොවැම්බර් 8වැනිදා සිට 13වැනිදා දක්වා ස්පාඤ්ඤයේ බිල්බයෝහිදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා නම් කළ 16 දෙනාගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය තෝරාගනු ලැබුවේ නියම දක්‍ෂතාවලින් සපිරි ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගෙන් නොවන බව බැඩ්මින්ටන් ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ චෝදනාවට හේතු වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ලෝක ශූරතාවලියට තෝරාගත් ක්‍රීඩකයන් කිහිප දෙනකු මේ දිනවල පැවැත්වෙන 64 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී මෙන්ම පසුගියදා පැවැති ජාතික පාසල් තරගාවලියේදී වෙනත් ක්‍රීඩකයන් වෙතින් පරාජය වී ඇති බවය.

ඒ අනුව මෙවර ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ අවුරුදු 19න් පහළ බාලක අර්ධ අවසන් පූර්ව වටයට පෙර පැවැත්වූ තරග වටයේදී ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට තෝරාගෙන ඇති ගාල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන ක්‍රීඩකයකු මෙම තරගාවලිය (ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේ) සඳහා තෝරාගත් කණ්ඩායමට අදාළ තේරීම් තරගයක් හෝ ලබා නොදුන් ක්‍රීඩකයකු වෙතින් පරාජය ලබා තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

තවද මෙම ලෝක කනිෂ්ඨ තරගාවලියට තෝරාගෙන ඇති තවත් ක්‍රීඩකයකු ජාතික පාසල් තරගාවලියේදී පරාජය ලබා තිබීමෙන්ම ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට තෝරාගෙන ඇත්තේ නියම දක්‍ෂතාවලින් සපිරි ක්‍රීඩකයන් නොවන බව ඔප්පු වී ඇති බව ඔවුන් විසින් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියට තෝරා ගැනුණු ගාල්ල ප්‍රදේශයේ එම ක්‍රීඩකයා පරාජය වී ඇත්තේ අ.පො.ස. (සා.පෙළ) විභාගය හේතුවෙන් මාස තුනක් පමණ ක්‍රීඩාවෙන් ඈත්ව සිටි ක්‍රීඩකයකු වෙතින් බව වාර්තා වේ.

එහිදී බොහෝ මවුපියන් පෙන්වා දෙන්නේ අ.පො. ස. (සා.පෙළ) හෝ උසස් පෙළ විභාගය හේතුවෙන් තරගවලින් මඳක් විවේක ගන්නා දරුවන්ට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියට අදාළව පැවැත්වෙන තේරීම් තරග පවා ලබා නොදීම කනගාටුවට කරුණක් බවය.

මේ අතර පසුගිය 24දා ආරම්භ වූ ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ පළමු දිනයේදී (24දා) ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට පෙරවරු 8.00ට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය දන්වා ඇතත්, පස්වරු 1.00 පමණ වන තුරුත් කිසිදු තරගයක් නොපැවැත්වීම හේතුවෙන් කුඩා දරුවන් මෙන්ම මවුපියන්ද දැඩි අපහසුතාවට ලක්වූ බවද වාර්තා වේ.

ගෘහස්ථ ක්‍රීඩාංගණ 8කදී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් අච්චාරුවක් කරගෙන ඇතැයිද බොහෝ මවුපියන්ගේ අදහස වී තිබේ.

එක් අවස්ථාවක තරග සටහන පවා වෙනස් කර ඇති පාසල් බැඩ්මින්ටන් බලධාරීන් කලාප තරග පරාජයට පත්වී ඇති ක්‍රීඩකයන් මෙම කනිෂ්ඨ තරගාවලිය සඳහා යොදාගෙන තිබීම මෙන්ම කලාප තරග ජයගෙන ඇති ක්‍රීඩක-ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට එක්කරගැනීම අතපසු වී ඇතැයිද පැවැසේ.

“කාටවත් ගිහින් චෝදනා කරන්න අවශ්‍ය නැහැ ගහන්න බැරි අය යන්න” යනුවෙන් පාසල් බැඩ්මින්ටන් බලධාරීන් මෙම කුඩා දරුවන්ට මෙන්ම මවුපියන්ටද තර්ජනය කර ඇතැයිද පැවැසෙන නමුත් එකම තරගාවලියක ස්ථාන දෙකක (කොළඹ, කුරුණෑගල) නවාතැන් පහසුකම් සපුරාගෙන සියලු දුෂ්කරතා විඳගනිමින් මෙම තරගාවලියට සහභාගි වන දරුවන් හා මවුපියන්ගේ දුක්ගැහැට පාසල් බැඩ්මින්ටන් බලධාරීන්ට නොතේරීම ජාතියේ අවාසනාවක් බව කිව යුතුමය.