FAST NEWS

24×7 Around the Globe

ආබාධ සහිත චන්දිමාල් හා දුෂ්මන්තට කොන්ත්‍රාත්තු දෙද්දි ධම්මිකට නොදුන් හේතුව සනත් කියයි…

 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි වසර සඳහා කොන්ත්‍රාත් හිමිවූ ක්‍රීඩකයන් 17 දෙනා අතරට අංක එකේ ටෙස්ට් වේග පන්දු යවන්නා ලෙස සැළකෙන ධම්මික ප්‍රසාද් ඇතුළත් නොවීම මේ වන විට කතාබහට ලක්ව තිබේ.

පසුගිය වසරේ පැවැති ටෙස්ට් තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාව දවාගත් ක්‍රීඩකයා වූයේ ධම්මික ප්‍රසාද් ය.

ඔහු 2015 වසරේදී දවාගෙන ඇති ටෙස්ට් කඩුලු ගණන 41කි.

මේ සම්බන්ධයෙන් ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන්ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඔහු එහිදී කියා සිටියේ ධම්මික යළි සුවවන දිනයක් සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් නොමැති බැවින් ඔහු කොන්ත්‍රාත් ලයිස්තුවට එක් නොකළ බවයි.

ආබාධ සහිත තත්ත්වයේ පසුවන එම ක්‍රීඩකයන් සුවය ලැබීමෙන් අනතුරුව ඔවුනට කොන්ත්‍රාත් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියද, දැනට කොන්ත්‍රාත් හිමිවී ඇති පිරිස අතර ආබාධයන්ට ලක්වූ දුෂ්මන්ත චමීර සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් ද සිටීම විශේෂත්වයකි.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් ක්‍රිකට් විචාරකයන්ගේ මතය වී ඇත්තේ ඔහු කොන්ත්‍රාත්තුවට ඇතුළු නොකිරීම කනගාටුදායක තත්ත්වයක් බවයි.

ඒ ඔහු ආබාධයකට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට ගොස් බවත්, මේ තීන්දුව හරියට අශ්ව රේස්වලට දුවල කකුල් කැඩුනම ඒ අශ්වයෝ සම්පූර්ණයෙන්ම ඉවත් කරල දානව වගේ වැඩක් යනුවෙන් ඔවුහු පවසන බවත් වාර්තා වේ.

මේ කොන්ත්‍රාත් ලයිස්තුවට ලසිත් මාලිංග හා එක්දින සහ විස්සයි – 20 කණ්ඩායම් නියෝජනය කළ තිසර පෙරේරා සහ සචිත්‍ර සේනානායකගේ නම් ද ඇතුළත්ව නොමැත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රිකට් කොන්ත්‍රාත්වලට ගිවිසගත් ක්‍රීඩකයින් 17 දෙනා මෙසේය :

ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, සුරංග ලක්මාල් , ළහිරු තිරිමාන්න, දිල්රුවන් පෙරේරා, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක, ජෙෆ්රි වැන්ඩර්සේ හා ලක්ෂාන් සඳකැන්.