FAST NEWS

24×7 Around the Globe

විදුලිබල විසන්ධි විම් ගැන සොයන්න රහසේ බුද්ධි අංශ මෙහෙයුමක්…

කාලයක් තිස්සේ සිදු වන ක්ෂණික විදුලිබල විසන්ධි වීම් ඇතුළුව විදුලි අර්බුදයක් ඇති වීම සම්බන්ධව පැතිර යන විවිධ කටකතා පිටුපස විදුලිබල මණ්ඩල අභ්‍යන්තරයේ කුමන්ත‍්‍රනකාරී පිරිසකගේ මැදිහත් වීමක් ඇතිදැයි විමර්ශනය කිරීම සඳහා බුද්ධි අංශ මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්තා වෙයි.

කණ්ඩායම් කිහිපයක් යොදා ගනිමින් බුද්ධි අංශ දියත් කර ඇති මෙම මෙහෙයුම ආරම්භ කර තිබෙන්නේ ඒ සම්බන්ධව රජය වෙත දිගින් දිගටම ලැබී ඇති පැමිණිලි පදනම් කරගෙන නිකුත් කර ඇති නියෝගයකට අනුවය.

රට තුළ දිගින් දිගටම ක්ෂණිකව සිදු වන විදුලිය බිඳ වැටීම රටේ ආර්ථිකයට මෙන්ම ආරක්ෂාවට ද තර්ජනයක් බවත් එහෙයින් ඉතා කඩිනමින් විමර්ශනය අවසන් කර රජයට වාර්තාවක් සපයන ලෙස එම නියෝගයේ සඳහන්ව ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධව අප කළ සොයා බැලීමේ දී අග‍්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මෙරට ක‍්‍රියාත්මක විදුලි මාෆියාවක් ගැන සඳහන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් පසුගිය සමයේ රජය විදුලිබල මණ්ඩලයට අදාළව කිසියම් හෝ තීන්දු තීරණයක් ගැනීමට සූදානම් වන සෑම අවස්ථාවකදීම ක්ෂණික විදුලිබල විසන්ධිවීම් සිදුව ඇති බව එම පැමිණිලිවල දින වකවානු සහිතව සඳහන්ව ඇති බවත් ය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට පසුගිය සැප්තැම්බර් මාසයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක විදුලිබල මණ්ඩලය කොටස් 6ක් ලෙස පවත්වාගෙන යාමට යෝජනා කළ අවස්ථාවේ ඊට පසු දින ක්ෂණිකව රට පුරා විදුලි බල විසන්ධි වීමක් සිදුව ඇත. එසේම පසුගිය දා විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම විසින් පවත්වා ගෙන යාමේ පහසුව වෙනුවෙන් නොරොච්චෝලේ ගල් අඟු රු විදුලි බලාගාරයේ කොටස්වලින් 50%ක් චීනයට පැවරීම සඳහා විදුලිබල මණ්ඩලයේ අදාළ පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර සාකච්ඡා සභාවේ දී අදාළ යෝජනාව සම්බන්ධව කිසිදු විරෝධයක් පළ වී නැතත් දින කිහිපයකට පසුව රට පුරා විදුලිබල සැපයුමේ විසන්ධි වීමක් සිදුව ඇත.

තවද මෙම කරුණ සම්බන්ධව පසුගිය මාර්තු මාසයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරුවරුන් පිරිසක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිඛිතව පැමිණිලි කර ඇති අතර එහි දී ඔවුන් ද එම සමයට අදාළව සිදු වූ ක්ෂණික විදුලි බල බිඳ වැටීම් සහ ඊට විදුලි මාෆියාවේ ඇති සම්බන්ධය පෙන්වා දී ඇති බව ද වාර්තා වෙයි.

අප වෙත වැඩිදුරටත් වාර්තා වන ආකාරයට විදුලිබල මණ්ඩලය තුළ ක‍්‍රියාත්මක මාෆියාව පාලනය කර ගැනීමට එහි පාලනාධිකාරිය පවා සමත් නොවන අතර එනිසාම විදුලි බල විසන්ධි වීම් හමුවේ ඊට අදාළ තාක්ෂණික ගැටලූ පවා පෙන්වා දීමට නොහැකිව ඔවුන් බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දී ඇත. එසේම විදුලිබල මණ්ඩලයේ වියදම් අධික වීම පාලනය කරගත නොහැකිව තිබෙන්නේ ද මෙම පිරිස්වල මැදිහත්වීම නිසා බවත් ඔවුන් මේ සා බලයක් ඇති කර ගැනීමට හේතු වූයේ පසුගිය රාජපක්ෂ සමයේ ගනු ලැබූ සමහර දුර්වල පරිපාලන තීරණ නිසා බවත් එම වාර්තාවල දැක් වේ.

මේ අතර නොරොච්චෝලේ බලාගාරය අක‍්‍රිය වීම පිටුපස කුමන්ත‍්‍රණයක් තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ද පසුගිය දා අවධාරණය කර සිටියේය. එම ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කරන්නේ ජලාශවල ජල මට් ටම පහත වැටී තිබූ පසුගිය දා මෙන්ම මීට පෙරද නොරොච්චෝලේ බලාගාරය කිහිප වරක් ම අක‍්‍රිය වූ බවත් නොරොච්චෝලේ බලාගාරයේ අක‍්‍රිය වීමට මුවා වී පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීමට විදුලිබල මණ් ඩලයේ ඞීසල් මාෆියාවට අවස් ථාව උදාකර දීමට කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කළේද යන්න සැකයක් ඇති බවත් ය.

නොරොච්චෝලේයි බලාගාරයේ අක‍්‍රිය වීමට හේතුව පිටුපස සිටින අදෘශ්‍යමාන හස් තය කුමක් ද සහ මෙයට පිටුපස සිටින නිලධාරීන් පිළිබඳව වහාම සොයා බලන ලෙසට වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින බව ද රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාව සහ විදුලිබල විෂය භාර අමාත්‍යවරයා මෙයට වගකිවයුතු බව ද ලංකා විදුලිබල මණ් ඩලයේ අකාර්යක් ෂමතාවට වන්දි ගෙවීමට සිදු වන්නේ මෙරට සමස් ත පාරිභෝගික ජනතාවට බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මීට පෙර අවස්ථා කිහිපයක දී පාඨලී චම්පික අමාත්‍යවරයා ද විදුලිබල මණ්ඩලය තුළ ක‍්‍රියාත්මක මාෆියාවක් පිළිබඳ අවධාරණය කර ඇති අතර එහි දී විදුලි බලයේ හිඟයක් මවා පෑම පිටුපස ද විදුලිබල මණ්ඩලයේ ක‍්‍රියාත්මක මාෆියාව සිටින බවට චෝදනා කරනු ලැබිණ.