FAST NEWS

24×7 Around the Globe

පාසල් දරුවන්ගේ සිහි විකල් කරන හලාවතට ආ අපූරු මත්ද්‍රව්‍ය මෙන්න…

 

අතේ ඇලවිය හැකි ස්ටිකරයක් සහිතව පාසල් සිසුන් අතර අලෙවි කරනු ලබන අලුත් තාලේ මත්ද්‍රව්‍යයක් භාවිතයට ගැනීමට හලාවත ප්‍රදේශයේ ඇතැම් පාසල් සිසුන් පුරුදු වී සිටීම හේතුවෙන් පාසල් වේලාවන්හි අධ්‍යාපන කටයුතුවලට යොමු කර ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇති  බව වාර්තා වී තිබේ.

එබැවින් වහාම මෙම මත්ද්‍රව්‍ය කෙරෙහි පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස හලාවත මීසම පාලනාධිපති ලින්ටන් ආනන්ද ප්‍රනාන්දු පියතුමා හලාවත පොලිසියෙන් ඉල්ලා තිබේ.

හලාවත ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක සිසුන් කිහිප දෙනකුම පාසල් වේලාවේදී පියවි සිහියෙන් තොරව සිටින බව පාසලේ ගුරුවරයකුට තේරුම් ගොස් ඔහු ඒ බව පාසලේ නියෝජ්‍ය විදුහල්පතිට දන්වා තිබේ.

පසුව සිදු කළ පරීක්‍ෂාවකදී කුඩා ස්ටිකරයක් සහිත මුද්‍රිත පොලිතින් පැකට්ටුවක් හමුවී ඇති අතර එහි විදේශ රටක අකුරු මුද්‍රණය කර තිබූ හෙයින් ඒ පිළිබඳව මීසම භාර පියතුමාට දැනුම් දී තිබේ.

හලාවත කොට්ඨාස විස මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කීර්තිපාල මහතා විදුහලේ තිබී හමුවූ පැකැට්ටුව පරීක්ෂා කළ අවස්ථාවේදී එම පැකට්ටුව තුළ අතේ ඇලවිය හැකි කුඩා ස්ටිකරයක් හා තවත් කුඩා පොලිතින් උරයක් සොයාගෙන ඇති බව සදහන් වේ.

එම කුඩා උරයෙහි වර්ණවත් සීනි වැනි ද්‍රව්‍යයක් තිබී ඇති අතර පැණි රසයක් ඇති එම සීනි වැනි ද්‍රව්‍ය තොල ගෑ පසු මත් ගතියක් ඇති වන බවත් සොයාගෙන තිබේ.

රුපියල් විස්සක් වැනි මිලකට නගරයේ ඇතැම් වෙළෙඳසල් මෙම අපූරු මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන අතර මේ සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු  ලැබේ.