FAST NEWS

24×7 Around the Globe

ක්‍රීකට් කොන්ත්‍රාත් මුදල් අඩු වෙන හැටි මෙන්න – සිම්බාබ්වේ යන්න ක්‍රීඩකයෝ එයිද ?

 

පසුගිය වසරට සාපේක්‍ෂව මෙවර කොන්ත්‍රාත්තු මුදල අඩුකර ඇති නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් අතර අර්බුදයක් හට ගෙන ඇති බව ක්‍රීකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

එසේම සිම්බාබ්වේ ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අඟහරුවාදා පිටත්ව යෑමට නියමිත බැවින් අදාළ ක්‍රීඩකයන් ලබන ඉරිදාට පෙර කොන්ත්‍රාත්තු අත්සන් කළ යුතුව ඇති බවත් පැවසේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජාතික ක්‍රිකට් සංචිතයට අදාළ ක්‍රීඩකයන් තිස් දෙනා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට  දිනයේ (19) පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පළමු කාණ්ඩයට අයත් ක්‍රීඩකයන්ට ඇමෙරිකානු ඩොලර් 125,000ක වාර්ෂික කොන්ත්‍රාත්තු මුදලක් ගෙවීමට අදාළ ගිවිසුම් කෙටුම්පත් කර ඇති අතර මෙය පෙර වසරට වඩා ඩොලර් 40,000ක පමණ අඩුවීමක් වන බවද පැවසේ..

මේ අයුරින්ම අඩුවීම් සහිතව ඉතිරි කාණ්ඩ 4 යටතේ පිළිවෙළින් ඩොලර් 80,000 සිට 20,000 දක්වා වාර්ෂික කොන්ත්‍රාත්තු මුදල් ගෙවීමට යෝජිතව තිබේ.

දැනගන්නට ඇති පරිදි ඉහළම කාණ්ඩයට ඇතුළත් කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා රංගන හේරත් යන තිදෙනා පමණී.