ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ ඒකකය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳව කළ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශය අනුව ජනපතිවරයා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
එසේම අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරියගේ මෙන්ම පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානියාගේ ක්‍රියා කලාපය සම්පූර්ණයෙන්ම දේශපාලනික බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
ඔහු විසින් පවසන ලද ප්‍රකාශයක් පුවත්පතක තීරුලිපියක පළ වී තිබුනේ මෙසේය.
“ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම වෙනත් සංවිධාන ගණනාවක්ම කීවා මේ ආයතනවලින් සිදුවෙන්නේ දේශපාලන පළිගැනීම් කියලා. ඒ වගේම එක් පක්ෂයක, පුද්ගල කණ්ඩායමක තීරණ ක්‍රියාවට නංවනවා කියලා. මේ ගැන අපිත් දිගින් දිගටම කරුණු කීවා. එකපාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ, නින්දෙන් ඇහැරුණා වගේ කරපු මේ කතාවට හේතුව අපි දන්නේ නෑ. හේතුව කුමක් වුණත් ඔහුගේ කතාව සත්‍යයි.
මේ ආයතන සියල්ලම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ.එය තවත් තහවුරු වෙනවා අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට යොමු කිරීමෙන්. ඇය දන්නවා ඇයගේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි කියලා. පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානියාගේ ක්‍රියාකලාපයත් සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි. ඒ එක්කම මේ ආයතනවල සිටින ඇතැම් නිලධාරීන්ගේ අවංකභාවය, විශ්වසනීයත්වය හා ක්‍රියාකලාපය ගැන අපට සැකයක් තියෙනවා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැට් බද්ද ගැනත් ඔහොම තමයි කතා කළේ. නමුත් වැට් එකේ උඩයට මාරු කරලා ඒ විදියටම ගෙනත් තියෙනවා. ඉතින් ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතා, කතාවලට පමණක් සීමා වෙලා තියෙනවා කියලා අපි දැක්කා. එම කතාවල ක්‍රියාත්මක වීම ගැන අපි බලාගෙන ඉන්නවා.”









