ඉන්දීය පරාජයෙන් පසු උද්දාමයට පත් බංගලියන්ගෙන්  ගෞතම්ට ගල්මුල් ප්‍රහාරයක්…

ඉන්දීය පරාජයෙන් පසු උද්දාමයට පත් බංගලියන්ගෙන් ගෞතම්ට ගල්මුල් ප්‍රහාරයක්…

සුදීර් ගෞතම් (Sudhir Gautam) ඉන්දියානුවන් අතර වඩාත් ජනප්‍රිය චරිතයක් වූයේ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන්නේ ලොව කොතැනද, ඒ ඕනෑම තැනක මෙම පුද්ගලයාද ඉන්දීය ජාතික කොඩියේ වර්ණයන්ගෙන් තම සිරුරම වර්ණගන්වා ප්‍රේක්‍ෂකාගාරයේ සිට ඉන්දීය කණ්ඩායම දිරිගන්වන්නෙකු ලෙසිනි.

ඔහු ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය චරිතයක් වී සිටින පර්සිට (පර්සි අබේසේකර) සමානය. ප්‍රේක්‍ෂකාගාරයේ ජීවමාන ඉන්දීය ධජයක් සේ රැදී සිටින ඔහු (සුදීර්) නැති ඉන්දීය ක්‍රිකට් තරගයක් නොදැකිය නොහැකි තරම්ය.

කෙසේ නමුත් ඉතිහාසයේ අත්නොවිඳි කනගාටුදායකම සිදුවීමකට මුහුණදීමට සුදීර්ට පසුගිය ඉරිදා (21දා) සිදුවී ඇත.

මේ දිනවල බංග්ලාදේශ තරග සංචාරයක නිරතවී සිටින ඉන්දීය කණ්ඩායම දිරිගැන්වීමට බංග්ලාදේශයට ගිය ඔහුට දෙවැනි එක්දින තරගයේදී ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටින බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන් විසින් ගල්ප්‍රහාරයක් එල්ල කර ඇත.

මේ බව තහවුරු කරමින් සුදීර්ට මාධ්‍ය වෙත පවසා ඇත්තේ, තමන් කිසිදිනක මෙවැනි අවාසනාවන්ත සිදුවීමට මුහුණදී නොමැති බවයි.

නමුත් බංග්ලාදේශ ආරක්‍ෂක අංශ හෙට (24දා) පැවැත්වෙන තරගයේදී සුදීර්ට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉතිහාසයේ ස්වර්ණමය යුගය ගොඩනගමින් සිටින බංග්ලාදේශය මේ වනවිට තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටින අතර, ඉන්දීය කණ්ඩායම මෙලෙස බංග්ලාදේශ කණ්ඩායම හමුවේ එක්දින තරගාවලියක් පරාජය වූ පළමු වරටය.