දෙවැනි තරගය – යසිර් ෂාට පිළියම් සොයයි – ලොකු වෙනස්කම් නැත.

දෙවැනි තරගය – යසිර් ෂාට පිළියම් සොයයි – ලොකු වෙනස්කම් නැත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය හෙට කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතය.

හෙට සිට පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු කරනු ඇති දැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා කියා සිටියේ පිතිකරණ අංශයේ වෙනසක් සිදුවිය හැකි බවයි.

සංචිතයේ සිටින 16 දෙනා අතරින් කණ්ඩායමේ අවශ්‍යතාවට හා තම කමිටුවේ අදහසට අනුව ඕනෑම ක්‍රීඩකයකු කණ්ඩායමට ආදේශ කළ හැකි යැයි පැවැසූ විජේගුණවර්ධන මහතා මෙම ටෙස්ට් තරගාවලිය තුළදීද යම්තාක් දුරට අත්හදා බැලීම් කිරීමට සිදුවන බවද කීය.

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සමු ගැනීමත් සමඟ පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බැවින් ඊට ආදේශකයකු සොයා බලමින් සිටින නිසා මෙම කාල වකවානුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සංක්‍රාන්ති සමයක් ලෙස හැඳින්විය හැකි බවද කී තේරීම් කමිටු සභාපතිවරයා ඕනෑම රටක කණ්ඩායමකට මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන බවද පැවැසීය.

හෙට තරගය සඳහා කුසල් ජනිත් පෙරේරාට කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීමට අවකාශයක් තිබේදැයි යන පැනයට පිළිතුරු දෙමින් විජේගුණවර්ධන මහතා කියා සිටියේ එම අදහසට තමාගේද අවධානය යොමු වී ඇති නමුත් පන්දු යැවීමේ අංශයේ වෙනසක් සිදුවිය යුතු යැයි තමන් නොසිතන බවය.

පසුගිය සතියේ දිනක සංගක්කාර සමඟ ගාල්ලේදී පැවැති සාකච්ඡාවලින් පසුව ගත් තීරණ කුමක්දැයි විමසූ විට තව ටික දිනක් ඉවසීමෙන් බලා සිටිමු යැයි කී තේරීම් කමිටු සභාපතිවරයා “ඔහුගේ සමුගැනීම ගැන ප්‍රකාශයක් කිරීමේ ගෞරවය සංගක්කාරටම දිය යුතු යැයි මා විශ්වාස කරනවා.

මා හිතනවා ඔහු ඒ ගැන තවම කල්පනා කරනවා ඇති. යසිර් ෂා කියන දඟ පන්දු යවන්නා ගැන කීවොත් ඔහු අපේ පිතිකරුවන්ට අභියෝගයක් වෙන්න තිබුණේ නැහැ. නමුත් එහෙම වෙලා තියෙනවා. ඒකටත් ඉදිරි දිනවලදී අපිට පිළියම් සොයා ගන්න වෙනවා. එක් තරගයකින් අපි කලබල වෙලා ලොකු වෙනස්කම්වලට යා යුතු නැහැ කියලා හිතනවා” යනුවෙන්ද පැවැසීය.