FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 100 සමග ගිවිසුම්ගත වේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එළැඹෙන වසරක කාලයකට අදාළව ගිවිසුම් ගතවීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් 100ක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රධාන කොන්ත්‍රාත්තුවට අදාළව ගිවිසුම් අස්සන් කිරීම සඳහා ජාතික කණ්ඩායමට හා “ඒ” කණ්ඩායමට ක්‍රීඩකයන් 30 දෙනකුද නැඟී එන ක්‍රීඩකයන් ලෙස වර්ගීකරණය කර ඇති යොවුන් ක්‍රීඩකයන් 20 දෙනකුද නම් කිරීමට නියමිත වේ.

තවද දේශීය ක්‍රිකට් ක්‍රීඩා සමාජවල තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණෙන් දක්‍ෂතා මත පදනම්ව ජෙෂ්ඨ, ප්‍රවීණයන් හා පළාත් මට්ටමෙන් ක්‍රීඩකයන් 25 දෙනකු බැගින් ගෙන තවත් ක්‍රීඩකයන් 50 දෙනකු සමඟ ගිවිසුම් අස්සන් කිරීමටද තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් හා අදාළ වර්ගීකරණයට අයත් සියලුම ක්‍රීඩකයන් අතර පසුගිය 10 වැනිදා පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළැඹ ඇති අතර අදාළ කොන්ත්‍රාත්තුව අස්සන් කිරීම ඉදිරි සතියේ සිදුකෙරෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.