FAST NEWS

24×7 Around the Globe

තමා ක්‍රීකට් දිවියට සමුදීමට හේතුව මැතිව්ස් බවට දිල්හාර ප්‍රකාශයකින් හෙළි කරයි….

එක්දින තරගවලින් සමුගැනීමට අදහස් කර ඇත්තේ දිගින් දිගටම තමාව කණ්ඩායමට තෝරා නොගත් නිසා බවත් කණ්ඩායම් නායකයා වන ඇන්ජලෝ මැතිව්ස් තමාට අවස්ථාව ලබාදීම දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කිරීම නිසා බවත් ශ‍්‍රී ලංකා තුන්ඉරියව් කි‍්‍රකට් ක‍්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස එක්දින හා විස්සයි 20 ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ දිල්හාර එක්දින තරගවලින් සමුගැනීමට ඊයේ (23) තීරණය කර තිබේ.

මෙම තීරණය ඔහු ඊයේ (23) කොලඹ මුවර්ස් ක්‍රීඩා පිටියේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

“මම සියලුම තරගවලදී ඉතා හොඳින් ක්‍රීඩා කළා. නමුත් නායකයා මට අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. වත්මන් තේරීම් කමිටුවත් මාව දිගින් දිගටම කපාහැරියා. මම කලකිරිලා තමයි සමුගන්නෙ, යනුවෙන් දිල්හාර පවසා සිටියේය.

කෙසේ වෙතත් ලොකුහෙට්ටිගේට ඔස්ට්‍රේලියානු නිව්සවුත්වේල්ස් දිස්ත්‍රික් කණ්ඩායමක් වෙනුවෙන් එරට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී ඇති බවත්, මාස 06 ක් ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කිරීමට අදහස් කරන බවත් ඔහු පවසා සිටියේය.

අනතුරැව ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාමට අදහස් කරන ඔහු අවස්ථාවක් ලැබුණහොත් ඒ සියල්ල අතහැර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග සඳහා ක්‍රීඩා කිරීමට අදහස් කර ඇත.

ලොකුහෙට්ටිගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 09 ක් හා විස්සයි20 තරග 02 ක් ක්‍රීඩා කර තිබේ.