FAST NEWS

24×7 Around the Globe

සිංහයින් පරාජය කළ කැන්ගරුවන්ට 4 – 1 ජයක්…

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදීද පිතිකරණ අංශයෙන් දැක්‌වූ දුර්වලතාව ප්‍රධාන කොට ඔස්‌ටේ්‍රලියානු පිලට කඩුලු 5 ක ජයකට පාර කපා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලි පරාජයේ වේදනාව තුනී කර ගැනීමට තිබූ පහසුම අවස්‌ථාවද ඊයේ (04 දා) මග හැර ගත්තේය.

මෙම තරගයට පෙරම තරගාවලියේ පරාජය ලබා සිටි ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ තරගය ජයගනිමින් ගෞරවාන්විත තරගාවලි අවසානයක බලාපොරොත්තු තබා තිබූ නමුත් ඒ සියල්ල සුණු විසුණු කර දැමූ ඩේවිඩ් වෝනර් ප්‍රමුඛ ඔස්‌ටේ්‍රලියානුවෝ 3/0 ක්‌ ලෙස ටෙස්‌ට්‌ තරග පරාජයේ වාඩුව එක්‌දින තරගාවලියේදී ලබාගත්තේ 4/1 ක්‌ වශයෙනි.

පිටපිටම තෙවැනි වතාවටත් ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්‌වූ අසාර්ථකභාවය නිසා ඔස්‌ටේ්‍රලියානු පිලට හිමිවූ ලකුණ 196 ක පහසු ඉලක්‌කය කිසිදු කලබලයකින් තොරව හඹා ගිය ඔස්‌ටේ්‍රලියානුවෝ තවත් පන්දු 42 ක්‌ ඉතිරිව තිබියදී ඉලක්‌කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක්‌ පමණක්‌ බිඳ වැටී තිබියදීය.

අවසන් ඉනිම 4 දී ලකුණු 38 ක්‌ පමණක්‌ ලබමින් අසාර්ථක පිතිකරුවකු බවට පත්ව සිටි ඩේවිඩ් වෝනර්, මෙම තරගයේදී ලකුණු අතරට පැමිණෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී ශතකයක්‌ රැස්‌ කළ පළමු ඔස්‌ටේ්‍රලියානු පිතිකරුවා බවට පත්වූවේය. වෝනර් ට ප්‍රථම ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවක්‌ රැස්‌ කරන ලද ඔස්‌ටේ්‍රලියානු පිතිකරුවා බවට පත්ව සිටියේ හිටපු නායක මාක්‌ ටේලර් වන අතර හෙතෙම 1992 වසරේදී කොළඹදී රැස්‌කරගන්නා ලද ලකුණු 94 ක ඉනිම ඔස්‌ටේ්‍රලියානුවකු ශ්‍රී ලංකාවේදී ලබාගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව විය.

වෙනදා ක්‍රීඩා කරනවාට වඩා වඩාත් හාත්පසින් වූ ඉවසිලිවන්ත ඉනිමක්‌ ක්‍රීඩා කළ වෝනර් තමා මුහුණ දුන් 111 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරන විටත් එල්ල කර තිබුණේ හතරේ පහර 9 ක්‌ වීම සුවිශේෂී විය. සචිත් පතිරණ විසින් ක්‍රියාත්මක කරන ලද තරගයේ 13 වැනි පන්දුවාරයේ පළමු පන්දුට වෝනර් විසින් එල්ල කරන ලද ස්‌වීප් පහර උඩ පන්දුවක්‌ ලෙස ලෙග් ස්‌ලිප් හි පන්දු රැකී ධනංජයද සිල්වා රැක ගත්තේ යෑයි ඉල්ලීමක්‌ කළද එය විනිසුරු නිෂ්ප්‍රභා කරන ලදී. එහෙත් පුනරූපණවලට අනුව එය පිත්තේ වැදී යන උඩ පන්දුවක්‌ ලෙස පැහැදිළිවම සටහන් වුවත්, එම අවස්‌ථාවේදී තෙවැනි විනිසුරුගේ ක්‍රමවේදය විමසීමට ශ්‍රී ලංකා නායකයා කටයුතු නොකිරීමේ වාසියෙන් ලකුණු 22 දී නිමාවීමට තිබූ වෝනර්ගේ ඉනිම අවසන් වූයේ ඔහුගේ 7 වැනි එක්‌දින ශතකය (106) බවට පරිවර්තනය වෙමිනි.

ආබාධයක්‌ හේතුවෙන් ඇරන් µsන්ච් ඊයේ දිනයේදී ඉනිම ආරම්භ නොකිරීම නිසා උසස්‌වීමක්‌ ලැබූ මැතිව් වේඩ් නායක වෝනර් සමග ඉනිම ඇරැඹි නමුත් ඔහුට වැඩි වේලාවක්‌ කඩුල්ලේ රැඳී සිටීමට ඩිල්රුවන් හරස්‌විය. වේඩ් එල්ල කරන ලද ස්‌වීප් පහර උඩපන්දුක්‌ ලෙස කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා රැක ගත්තේ යෑයි ඉල්ලීමක්‌ කළද විනිසුරුවරයා එය ප්‍රතික්‍ෂේප කළේය.

එහෙත් නායක චන්දිමාල් එම තීරණය අභියෝගයකට ලක්‌ කරමින් තෙවැනි විනිසුරුගෙන් කරන ලද ඉල්ලීමේදී එය දැවී යැමෙක්‌ ලෙස නම් කරනු ලැබීය. ඩිල්රුවන්ගේ දෙවැනි දඩයම වූ උස්‌මාන් කවාජා ද මුළු ලකුණු සංඛ්‍යාව 25 ක්‌ව තිබියදී දැවී යැම ශ්‍රී ලංකාවට මානසික අස්‌වැසිල්ලක්‌ ගෙන ගෙන දෙන්නක්‌ වුවත්, ඉන් පසු පිටියට පිවිසි ජෝඡ් බෙයිලි සහ වෝනර් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 132 ක සම්බන්ධතාවක්‌ පවත්වමින් ඔස්‌ටේ්‍රලියානු පිල ඔසවා තැබූහ.

පිට පිටම 8 වැනි වතාවටත් කාසියේ ශ්‍රී ලංකාවට හිමිවූ මෙම තරගයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක ශක්‌තිමත් ආරම්භයක්‌ එක්‌ කිරීමට ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනා සමත් වුවද මැද පෙළ පිතිකරුවන්ගෙන් කණ්‌ඩායමට ලැබිය යුතු සේවය නොලැබී යැම මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා ඉනිම සීමා වීමට ප්‍රධාන විය.

මෙහිදී ධනංජය ද සිල්වා හතරේ පහර 4 ක්‌ සමගින් පන්දු 47 කදී ලකුණු 34 ක්‌ද, ධනුෂ්ක ගුණතිලක හයේ පහරක්‌ සහ හතරේ පහර 2 ක්‌ සමගින් පන්දු 40 කදී ලකුණු 39 ක්‌ ලබාගෙන සිටියදී 14 වැනි සහ 15 වැනි පන්දුවාර 2 තුළදී දැවී යැමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

පන්දු 6 ක්‌ තුළ ආරම්භක පිතිකරුවන් යුගල දැවී යැම තරගය මෙහෙයවූ දිනේෂ් චන්දිමාල්ට පීඩනය ගෙනදෙන්නක්‌ බවට පත්වුවත් පිට ඉන්නට වඩාත් ඈතින් ස්‌ටාර්ක්‌ විසින් යොමු කරන ලද පන්දුවට එලවා පහරක්‌ එල්ල කිරීමට යැම නිසා චන්දිමාල් ද 16 වැනි පන්දුවාරයේදීම ක්‍රීඩාගාරයට පියමං කළේය.

චන්දිමාල්ගෙ දැවී යැමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය අවසන් කඩුලු 7 ම ලකුණු 74 ක්‌ තුළදී දැවී යැම ඔස්‌ටේ්‍රලියානුවන්ට ආබරණයක්‌ බඳුවිය.

වඩා ළාබාල වයසේදීම පිතිකරුවකු ලෙස වඩාත් විශ්වාසනීයත්වයක්‌ ගොඩනගාගෙන සිටින කුසල් මෙන්ඩිස්‌ කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමට දැඩි උත්සාහයක නිරතවූ නමුත් එයට හේස්‌ටිං හරස්‌විය. හයේ පහරක්‌ සහ හතර් පහර 5 ක්‌ සමගින් පන්දු 36 කදී ලකුණු 33 ක්‌ ලද මෙන්ඩිස්‌,වේඩ් අතට උඩපන්දුවක්‌ දී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 121 ක්‌ වශයෙන් සටහන් විය. මෙන්ඩිස්‌ගේ කඩුල්ල දවා ගැනීමත් සමග 2016 වසර තුළ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට හේස්‌ටිංග්ස්‌ සමත්විය.

අහම්බයෙන් මෙන් කණ්‌ඩායමට එක්‌වීමට වරම් ලද සචිත් පතිරණ තනි සටනක්‌ දියත් කරමින් ශ්‍රී ලංකාව ඔසවා තැබීමට දැඩි උත්සාහයක නිරත වීය. සචිත්තේ උත්සාහයට වඩා ඔස්‌ටේ්‍රලියානු පන්දු යවන්නන්ගේ ශක්‌තිව වැඩිවීම ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාව පසුකර යැම ප්‍රථම සීමාවන්නට හේතු විය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස සචිත් දැවී යන විට හෙතෙම ලකුණු 32 ක්‌ ලබා සිටියේය.

ඉදිරි පෙළ පිතිරුවන් දැවී ගියද මැද පෙළින් කුසල් පෙරේරා මෙන්ම පලපුරුදු පිතිකරුවකු වන උපුල් තරංග දෙදෙනා පන්දුවට පහරදීමට සිටීම ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවන්නට ප්‍රධාන වූ නමුත් ලකුණු 14 ක්‌ ලබා සිටියදී කුසල් දැවී යැම ශ්‍රී ලංකාව වැටී සිටි තත්ත්වයෙන් තවත් පහළට ඇද වැටිණ.

මෙම තරගයට ශ්‍රී ලංකා පිල වෙනස්‌කම් 4 ක්‌ සිදුකරමින් අවතීර්ණ වී සිටි අතර සිව්වැනි තරගයට ක්‍රීඩා කළ මැතිව්ස්‌, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා සහ තිසර වෙනුවට උපුල් තරංග, දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක සහ සුරංග ලක්‌මාල් කණ්‌ඩායමට පැමිණ සිටියහ.

මෙම තරගයේ වීරයා ලෙස ශතක ලාභී ඩේවිඩ් වෝනර්ද තරගාවලියේ වීරයා සම්මානය ජෝඡ් බෙයිලි ටද හිමිවිය. දෙරට අතර පැවැත්වෙන විස්‌සයි/20 ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය හෙට (06 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ප.ව. 7 ට ආරම්භ වේ.