FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මෛත්‍රිගේ ඕස්ට්‍රේලියානු චෝදනා ගැන පරීක්ෂණ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමතිවරයෙකු ව සිටිය දී ඔහු යටතේ සිටි නිලධාරියෙකු ඕස්ට්‍රේලියානු සාමාගමකින් “දේශපාලන ආධාර” ලබා ගැනීමට උත්සහ කළ බවට ඕස්ට්‍රේලියාවේ මාධ්‍යයක් නැගු චෝදනාව ගැන සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව රජය පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ම එම චෝදනාව හා වාර්තාව ගැන පරීක්ෂා කරන ලෙස නියෝග කර තිබෙන බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුව අමතමින් අද (31) පැවසිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් කටයුතු කරගෙනයාමේදී ගැටළු සහගත තත්ත්වයක් මතුවුවහොත් අවශ්‍යනම් ජාත්‍යන්තර පොලීසියේද සහය ලබාගත හැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය ආයතනයක් පසුගිය සතියේ වාර්තාවක් පළ කරමින්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2009 වසරේ කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කල අවධියේ එතුමාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඕස්ට්‍රේලියාවේ සමාගමකට ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත්තුවක් ලබා දීමට දේශපාලන ආධාරයක් ඉල්ලා සිටි බවට චෝදනාවක් පළකර තිබුණි.

‘ඉල්ලපු කෙනා කවුද?’

එම මාධ්‍ය වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙම සිදුවීම හා කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

“එතුමාම බාර දීලා තියෙනවා මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, සම්පූර්ණයෙන්ම හොයන්න කියලා, මේ වාර්තාව ඇත්තක්ද නැද්ද කියලා, මොකක්ද චෝදනා කියලා හොයන්න”

“අඳුන ගන්න ඕනේ මෙහෙම ඉල්ලපු කෙනා කවුද කියලා, මොකද ජනාධිපතිපතුමා ඉල්ලුවා කියල එතන නැහැ, ජනාධිපතිවරයා වෙනුවෙන් ඉල්ලුව කියලයි තියෙන්නේ” රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

(බිබිසි සංදේශය)