FAST NEWS

24×7 Around the Globe

ජන සටන වෙනුවෙන් ජාතික බුද්ධි සේවය දැවැන්ත ක‍්‍රියාන්විතයක?

ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කරනු ලබන මහනුවර සිට කොළඹ දක්වා වූ පාද යාත‍්‍රාවට අදාළව ජාතික බුද්ධි සේවය දැවැන්ත ක‍්‍රියාන්විතයක් දියත් කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ ඉහළම ප‍්‍රධානීන් කිහිප දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් මගින් මෙම ක‍්‍රියාන්විතයට අදාළ උපදෙස් හා නියමයන් පනවා ඇති අතර අදාළ කටයුතු සදහා ජාතික බුද්ධි ඒකකයේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකු යටතේ පළාත් හා දිස්ත‍්‍රික් මට්ටමෙන් පොලිස් හා ආරක්ෂක හමුදාවන් හි විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම ක‍්‍රියාන්විතය යටතේ නුවර කොළඹ පාගමන සඳහා එක්වන පිරිස කෙතරම් සංඛ්‍යාවක් වුවද ඒ සියලූ දෙනාගේම තොරතුරු වෙන් වෙන්ව එක්රැස් කෙරෙනු ඇත. ඒ සඳහා මූලික පියවරක් ලෙස පාගමනට සහභාගී වන සියලූ දෙනාම ඇතුළත් වන ආකාරයට වීඩියෝ ගත කරනු ඇති අතර පසුව එක් එක් පුද්ගලයාට අදාළව වෙන් වෙන්ව තොරතුරු රැස්කර විශ්ලේෂණය කිරීමට කටයුතු යොදා තිබේ. අදාළ වීඩියෝ ගත කිරීම සඳහා ජාතික බුද්ධි ඒකකයට අයත් නිල ඡායාරූප හා වීඩියෝ ශිල්පීන්ට අමතරව පුද්ගලික අංශයේ රූපවාහිනි සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ගණනාවකම තෝරාගත් මාධ්‍ය කණ්ඩායමකගෙන් සහය ලබාගැනීමට දැනටමත් කටයුතු යොදා තිබේ.

අදාළ වීඩියෝ සහ ඡායාරූප උපයෝගි කරගනිමින් ලබාගන්නා තොරතුරු පදනම් කරගෙන එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු වලට අමතරව ඔවුන්ගේ දරුවන් ඇතුළු පවුලේ සමීපතමයන්ගේ දත්ත ඇතුළත් පරිගණක දත්ත ගොණුවක් සැකසීමට නියමිතය.