FAST NEWS

24×7 Around the Globe

මුරලි තමාට හා මහේලට ඉන්දීය ක්‍රීකට් ආයතනයෙන් සිදුවු බරපතල අසාධරණයක් ටයිම්ස් වෙත හෙළි කරයි.

IPL තරගාවලියෙන් කෝචි ටස්කර්ස් කණ්ඩායම එයින් ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයතු කිරීමත් සමග එම කණ්ඩායම සමග ගිවිසුම්ගතව සිටි ක්‍රීඩකයන්ට  අසාධාරණයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පෙන්වා දී ඇත.

මේ පිළිබඳව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට අදහස් දක්වමින් මුරලි සඳහන් කර ඇත්තේ ඉන්දීය මුදල් නොමැතිව මහේලට හා තමන්ට සිය පවුල නඩත්තු කළ හැකිවුවද අවම ගෙවීමක් සහිත ක්‍රීඩකයන්ට එය ගැටලුවක් බවයි.

එසේම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයන් ගණන් නොගන්නා බවද මුරලි පවසයි.

සම්පුර්ණ කතාව පහතින්…

“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මට ඩොලර් ලක්ෂ හතරක් හා මහේලට (එවකට කණ්ඩායමේ නායකයා) ඩොලර් ලක්ෂ 05ක් ණයයි. මම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ ගැන කතා කළා වගේම ලිපි මගින් දැනුම් දී තිබෙනවා. ඔවුන්ගෙන් සහතික ලැබුණා පමණයි කිසි දෙයක් වුණේ නෑ. කෝචි කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඩොලර් මිලියන 02ක් පමණ ණයයි.

මම ලෝකෙ වටේ තියෙන ලීගවලට ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් ඒ කිසිම ක්‍රිකට් පාලක මණ්ඩලයක් මේ වගේ දෙයක් ක්‍රීඩකයන්ට කරලා නෑ. ඒ කියන්නෙ ඔවුන් (ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය) ක්‍රීඩකයන් ගණන් ගන්නෙ නෑ කියලයි. ඔවුන් හිතන්නේ තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යෑම ගැන විතරයි.

මම, මහේල වගේ අයටනම් මේ මුදල් නැතිව තවමත් ගෙදර පාලනය ඉදිරියට ගෙනයන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් හිතන්න ඩෙලර් 30,000– 40,000ක් උපයන ක්‍රීඩකයෙක් ගැන. ඔවුන්ට ඒ මුදල ලොකු දෙයක්. මට දැනගන්නට ලැබුණා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට උදව්වට හිටිය අයටත් තවමත් 80% ක් විතර ගෙවන්න තියෙනවා කියලා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය පිළිගන්නේ නෑ. මට ඔවුන්ට එරෙහිව නඩු දාන්න අවශ්‍යතාවක් නෑ. මොකද ඒ සඳහා විශාල කාලයක් ගතවෙනවා කියලා මම දන්නවා. මම හා ඇතැම් ක්‍රීඩකයන් වසර දෙකක ගිවිසුම් අත්සන් කළේ. කෝචි කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පවතින  අධිකරණ ක්‍රියාවලියෙන් ක්‍රීඩකයන්ට තමයි අවසානයේදී ගැටලුවක් වෙලා තියෙන්නේ” යැයි මුරලි පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ නම් හෙළි නොකළ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ අදාළ මුදල් ගෙවීමේ වගකීම ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට නොව කෝචි ටස්කර්ස් කණ්ඩයමේ පාලනාධිකාරියට බවත්, උසාවියේ තීන්දුවෙන් පසු ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුවනු ඇති බවත්ය.