FAST NEWS

24×7 Around the Globe

චමින්ද වාස්ට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්ඩායමේ වගකීම්?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමට නව වේග පන්දු පුහුණුකරුවකු සහ පන්දු රැකීමේ පුහුණුකරුවකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ක්‍රිකට්‌ කමිටුව සාකච්ඡා කොට ඇති අතර එය ඉදිරි දින කිහිපයේදී විධායක කමිටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

වත්මන් වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චම්පක රාමනායක මහතාගේ සේවා කාලය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කමිටුවේ සාමාජිකයන් නොසතුටට පත්ව ඇති අතර පසුගිය එංගලන්ත සංචාරයේදී වේග පන්දු යවන්නන් දැක්‌වූ දක්‍ෂතා සැලකිල්ලට ගනිමින් නව වේග පන්දු පුහුණුකරුවකු පත්කර ගැනීමට යෝජිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂතා ඉහළ දැමීමේ කළමණාකරු ලෙස පත්ව සිටින සයිමන් විල්ස්‌ මහතාගේ අදහසකට අනුව මෙම නව පුහුණුකරුවන් පත්කිරීමට මගපෑදී තිබේ. විල්ස්‌ මහතා රාජකාරී භාර ගැනීමෙන් පසු ක්‍රිකට්‌ තේරීම් කමිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රවීණයන් සහ පුහුණුකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම වෙනස්‌කම් අවශ්‍ය බව යෝජනා කර තිබේ.

මේ අතර දිගින් දිගටම පන්දු රැකීමේ අංශයෙන් දුර්වල වන ශ්‍රී ලංකා කණ්‌ඩායමට පන්දු රැකීමේ පුහුණුකරුවකු පත්කර ගැනීමටද නියමිතව තිබේ.

ඔස්‌ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව නව වේග පන්දු පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු පත්කිරීමට නියමිත අතර ඔවුන් දකුණු අප්‍රිකානු සංචාරයේ සිට ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌කර ගැනීමට අවධානය යොමුව ඇත.

කෙසේ වෙතත් නව වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස්‌ පත්කර ගැනීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතින බව වාර්තා වන අතර ඔහුට බංග්ලාදේශයෙන්ද මේ වන විටත් ඇරයුම් ලැබී ඇතැයි වාර්තා වේ. විල්ස්‌ මහතාද වාස්‌ සමග සාකච්ඡා කොට තිබේ. පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දනව පත්කර ගැනීමටද යෝජනාවක්‌ ඉදිරිපත්ව තිබේ.