සංගා ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ තීරණය තවමත් ස්ථීර නැත.

සංගා ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ තීරණය තවමත් ස්ථීර නැත.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ හා පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගය හෙට (17)දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙවර පාකිස්තානු තරගාවලියට පෙර බොහෝ දෙනා අවධානය ගන්නා කරුණක් වී තිබෙන්නේ කුමාර සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගන්නා දින වකවානුව ගැනයි. සංගා පසුගිය ඉරිදා (14) පෙරළා එංගලන්තයේ සිට පැමිණි පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහාය.

සංගා පිළිබඳව මාධ්‍යයේ විවිධ කතා පළවුවද ක්‍රිකට් අතුරු කමිටු උප සභාපති හා ජාතික ක්‍රිකට් කමිටු සභාපති කපිල විජේගුණවර්ධනගෙන් තොරතුරු විමසන ලද විට පැවැසුවේ සංගාගේ ටෙස්ට් පිටියේ සමුගැනීම පිළිබඳව තවදුරටත් ස්ථීරව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

සංගා සමගින් තේරීම් කමිටුව අද (16) මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

කුමාර සංගක්කාර මේ වන විටත් ප්‍රථම පන්තියේ තරගවලදී ලකුණු 40,000 සීමාව පසුකරනු ලැබූ ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වී හමාරය. මේ වන විටත් සංගා එක්දින හා ඕවර විස්ස-20 ක්‍රිකට් පිටියෙන් අන්තර් ජාතික මට්ටමෙන් සමුගෙන ඇත. එසේ වුවත් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු සංගා ප්‍රකාශ කළේ තමා තවත් මාස 5-6කින් ටෙස්ට් පිටියෙන්ද සමුගැනීමට තීරණය කරන බවයි. ඒ අනුව සංගා බොහෝ විට ඉන්දීය පිල සමග පැවැත්වෙන පල්‍ලේකැ‍ලේ අවසන් ටෙස්ට් තරගයේදී ටෙස්ට් පිටියට ආයුබෝවන් කීමේ අදහසක් මුලින් ප්‍රකාශ කළේය.

කෙසේ වූවත් සංගා දැනටද එංගලන්තයේ සරේ ප්‍රාන්ත පිලට එරෙහිව ක්‍රීඩා කරන අතරේ පසුගිය දිනයක ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කාරුණික ඉල්ලීමක් කළේ අඩු තරමින් තවත් වසර දෙකක්වත් රට වෙනුවෙන් ක්‍රීඩා කරන ලෙසයි. මෙම ආයාචනයට පෙරළා කිසිදු ප්‍රතිචාරයක් සංගා අද වනතුරුත් සිදුකළේ නැත.

මේ නිසා සංගා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා දිනය කවදාදැයි බොහෝ දෙනා විමසිලිමත් වෙති. දැන් සංගා ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ තවත් නවකයකුට අවස්ථාව ලබාදීම සඳහාය. මේ අරමුණින් ටෙස්ට් පිටියට සමුදීමටද තීරණය කරන සංගා තමාගේ පහළොස් වසරක අන්තර් ජාතික පිටියේදී කරනු ලැබූ වාර්තා පිට වාර්තා තුළ ලොව විශිෂ්ටතම පිතිකරු වී හමාරය. වසර 2000දී ජුලි 20 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිය ගාල්ලේදී ටෙස්ට් බෞතිස්මය ලැබූ සංගා ගාල්ල පැවැත්වෙන ඉන්දීය ටෙස්ට් තරගයෙන් (එළැඹෙන ඉන්දීය ටෙස්ට් තරගාවලියේ ප්‍රථම ටෙස්ට් තරගයෙන්) ටෙස්ට් පිටියට සමුදෙන්නේ නම් එය ෙදෙවෝපගත සිදුවීමක් වනු ඇත.

දැනට ටෙස්ට් තරග 130කදී ලකුණු 12,203ක් ශතක 38 හා අර්ධ ශතක 51 සමගින් ලබා සාමාන්‍ය 58.66ක් රඳවාගෙන සිටින සංගා එක්දින පිටියට සමුදී ඇත්තේ එක් දින තරග 404ක් තුළ ලකුණු 14,234ක් ශතක 25ක් හා අර්ධ ශතක 93ක් සමගින්ය. ඕවර විස්ස-20 තරග 159ක් ක්‍රීඩා කර ලකුණු 4049ක් ලැබ ඊට අර්ධ ශතක 24ක් රැස්කරනු ලැබූ සංගා 37 වියේදී ක්‍රිකට් ජීවිතයෙන් සමුගන්නා විට කඩුළු රකින්නකු ලෙස එක්දින පිටියේ උඩ පන්දු 402ක්ද, ස්ටම්ප් කිරීම් 99ක්ද, ටෙස්ට් පිටියේදී උඩ පන්දු 178ක් හා ස්ටම්ප් 20ක්ද, ඕවර් විස්ස-20 පිටියේදී උඩපන්දු 98ක් හා ස්ටම්ප් 41ක්ද, ලබා කඩුළු රැකීමේදී දක්ෂතා අර රැඳී සිටීයි.

නැවතත් මතක් කළ යුතු වන්නේ පසුගිය ලෝක කුසලාන සමයේ මෙල්බෝන්හිදී හිටපු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පුහුණුකරු ඕවාන් මතාව් කළ ප්‍රකාශයකි. සංගා විටක ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන්ටද වඩා දක්ෂ පිතිකරු වෙක් යැයි කී වදන්වල සත්‍යතාවය මතාව් ප්‍රකාශ කළේය. බ්‍රැඩ්මන් ලොව රටවල් කිහිපයකට එරෙහිව පමණක් දක්ෂතා එල්ල කරද සංගා සියලු රටවලටද එරෙහිව සුවිශේෂි දක්ෂතා දක්වා ඇති නිසා සංගා සුපිරි පිතිකරුවකු බව මතාව් එදා ප්‍රකාශ කළේය.