එංගලන්ත සංචාරය පරාජයට පත්වුවද, තරගාවලියේ ධනාත්මක කාරණා කිහිපයක් හඳුනාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (07දා) සන්ධ්‍යාවේ පැවැති මාධ්‍ය හමුවකදී මැතිව්ස් මේ බව අනාවරණය කළේය.
එමෙන්ම එංගලන්ත සංචාරය දුෂ්කර අභියෝගාත්මක තරගාවලියක් වූ බවත්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා දිනේෂ් චන්දිමාල්ගේ පිතිකරණ දක්‍ෂතා තරගාවලියේදී කැපී පෙනුණු සාධක බවත් මැතිව්ස් පෙන්වා දුන්නේය.
“පළමු හා දෙවැනි ටෙස්ට් තරග පරාජයන්ගෙන් පසුව අපි දුටුවා අපේ පිතිකරණයේ වර්ධනයක්. විශේෂයෙන් කුසල් මෙන්ඩිස්ගේ. ඔහු පළවු වතාවට එංගලන්තයේ ක්‍රීඩා කළේ. මෙන්ඩිස් අපේ ක්‍රිකට් අනාගතයේ ධනාත්මක සාධකයක්. ඒ වගේම ඇන්ඩර්සන්ට හා බ්‍රෝඩ්ට එරෙහිව ඔවුන්ගේ රටේදී සීතල දේශගුණය යටතේ අපි යම් සාර්ථකත්වයක් ලැබුවා. කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න වැනි පිතිකරුවන් දක්‍ෂතා දැක්වුවත් අවසනාවන්ත ලෙස උසස් තරගයක් ලබාදීමට අපට නොහැකි වුණා” යැයි මැතිව්ස් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පෞද්ගලික දක්‍ෂතා ඉස්මතු වුවද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවුණු බවද මැතිව්ස් සඳහන් කළේය.
“සෑම තරගයකදීම අපේ පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම පහළ මට්ටමක තිබුණේ. තරගාවලියේදී අපේ පන්දු යවන්නන් 05 දෙනෙක් ආබාධවලට ලක්වුණා. එනිසා පන්දු යවන්නන්ගේ යම්කිසි පසුබෑමක් ඇතිවුණා. මං හිතනවා අපට තෝරාගත හැකි උපරිම කණ්ඩායම තමයි එංගලන්තයේදී ක්‍රීඩා කළේ. ප්‍රධාන පෙළේ පන්දු යවන්නන් අහිමි වුණු විට සුරංග ලක්මාල්ට හා නුවන් ප්‍රදීප්ට සුවිශාල කාර්යභාරයක් පැවරුණා” යැයි ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේය.
එමෙන්ම තමන් පරාජයේදී නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අකමැති පුද්ගලයෙකු බවත්, පන්දු යවන්නන් ආබාධවලට ලක්වීම හේතුවෙන් පන්දු යැවීම දුර්වල වූ බවත් මෙහිදි මැතිව්ස් සඳහන් කළේය.
“මමත් පාදයේ ආබාධයකට ලක්වුණා. ඒ නිසා මගේ අත්දැකීම් පවා පන්දු යැවීමේදී කණ්ඩායමට ලැබුණෙ නැහැ. මම විශ්වාස කරනවා අපේ ප්‍රධාන පන්දු යවන්නන්ගේ ආබාධ සුවවූ පසු අපි සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කරාවි කියා” යැයි මැතිව්ස් පවසා සිටියේය.
එසේම ඉදිරියේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ ආබාධය සඳහා එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිත අතර, එම පරීක්‍ෂණයෙන් අනතුරුව මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතය.
සමස්තයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව අවම මට්ටමක පැවැති අතර, තරගාවලිය පුරා දුවද්දී දැවීයාම් රාශියකටද ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදුවිය.
මේ පිළිබඳ අදහස් පළ කළ ශ්‍රී ලංකා නායකයා,
“මම තවම නායකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ තෘප්තිමත් නැහැ. අපේ ශාරීරික යෝග්‍යතාව පමණක් තරගාවලි පරාජය වීමට බලපෑවේ නැහැ. අපි දිගටම ක්‍රිකට් ක්‍රීඩා කළ නිසා පැමිණි ආබාධ තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඉන් වැළකීමට අපි යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි” යැයි පවසා සිටියේය.
එසේම එංගලන්තයේ සිට මෙරටට පැමිණීමේදී තමන් විවේචනවලට මුහුණදීමේ අටියෙන් පැමිණියද, ශ්‍රී ලංකාවේ සියලුම දෙනා දැක්වූ සහයෝගය කණ්ඩායම මානසිකව බිඳවැටී ඇති අවස්ථාවක අතිශය වැදගත් වූ බවද මැතිව්ස් මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
එමෙන්ම මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනැගෙන කණ්ඩායමක් බවත්, සීක්කුගේ ප්‍රසන්නගෙන් හා ෆර්වීස් මහරුෆ්ගෙන් බලාපොරොත්තු වූ දස්කම් නොලැබුණු බවත් ශ්‍රී ලංකා නායකයා පැවසීය.
“කණ්ඩායමක් තෝරා ගැනීමේදී එය සමබර විය යුතුයි. එය අත්දැකීම් හා තාරුණ්‍යය කියන සාධක ද්විත්වයේ සුසංයෝගයක් විය යුතුයි. අපේ ප්‍රධාන ඉලක්කය 2019 ලෝක කුසලානය සඳහා කණ්ඩායම නිර්මාණය කරගැනීමයි. නමුත් සීක්කුගෙන් හා මහරුෆ්ගෙන් අපි බලාපොරොත්තු වූ දස්කම් ලැබුණේ නැහැ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම එළඹෙන ඔස්ට්‍රේලියානු තරගාවලියේදී විශාල වෙනස්කමක් කණ්ඩායම තුළ සිදුනොවනු ඇති බවත්, ස්ථිර ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගෙන් පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී මැතිව්ස් ප්‍රකාශ කළේය.