FAST NEWS

24×7 Around the Globe

ලසන්ත වික්‍රමතුංග පරීක්‍ෂණ යට ගැසූ පොලිස්‌ නිලධාරීන්ට වැඩ වරදින ලකුණු.

සන්ඩේ ලීඩර්’ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්‍ෂණ යට ගැසූ උසස්‌ පොලිස්‌ නිලධාරීන් පිරිසකට එරෙහිව පොලිස්‌ මූලස්‌ථානය පරීක්‍ෂණයක්‌ ආරම්භ කිරීමට යයි.

මෙම උසස්‌ නිලධාරීන් පසුගිය රජය සමයේ ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසයේ රාජකාරි කළ නිලධාරීන් බවද වාර්තා වෙයි. ලසන්ත ඝාතන පරීක්‍ෂණය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් 17 දෙනකු මෙම උසස්‌ නිලධාරීන් විසින් පොලිස්‌ ඇප මත මුදා හැර තිබූ බව ද පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

මෙම සැකකරුවන් මුදාහැර ඇත්තේ සාක්‍ෂි නොමැතිව බව කියමින් යෑයිද අනාවරණය වී තිබේ.

එහෙත් පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසන්නේ එවකට අත්අඩංගුවට ගෙන තිබූ ලසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ හමුදා සෙබළුන් 17 දෙනා අතර සිටි පිරිසක්‌ ඊට කෙළින්ම සම්බන්ධ වූවන් බවයි.

මේ වන විට ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ තොරතුරු රැසක්‌ හෙළි වී තිබෙන බවද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියේය. වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ නිලධාරීන් පිරිසක්‌ වෙත චෝදනා එල්ලවී තිබේ.