FAST NEWS

24×7 Around the Globe

එක්නැලිගොඩ ඝාතනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද?

පැහැරගෙන යනු ලැබූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ජීවත්ව සිටි බවට සාක්ෂි ලැබී ඇති අවසන් දින කිහිපයේ සැකකාර හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හා අක්කරෙයිපත්තු කඳවුරේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පුද්ගලයන් සමග දිගින් දිගටම පණිවිඩ හුවමාරු කරගෙන තිබූ බව අනාවරණයවේ.

2010 ජනවාරි මස 25 වැනි දින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පවත්වනු ලබන නඩුව ඊයේ (05) දින ද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එබව සඳහන් කළේය.

ඩයලොග් ආයතනයෙන් සිදුකළ මොවුන්ගේ දුරකථන සංවාද විමර්ශනයේ දී දැනට රිමාන්ඩ් භාරයේ සිටින ප්‍රධාන සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ පුද්ගලයන් සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර ඇති බවත්, මෙම සැකකරුවන් කතා කරන ලද එම ඩයලොග් සිම් ජනාධිපති ලේකම්වරයාගේ නමින් නිකුත්කර තිබුණු බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.