FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප වෙනුවෙන් දැඩි තීරණ කීපයක් ළගදීම.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කුමන්ත්‍රණකරුවන්ගෙන් බේරාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ළඟදීම වැදගත් දේශපාලන තීරණ කීපයක්‌ම ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

ඕනම අභියෝගයකට මුහුණදීම සඳහා බිම් මට්‌ටමේ සිට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කිරීමට සෑම පියවරක්‌ම ගන්නා ලෙස පක්‍ෂයේ සභාපති වන ජනාධිපතිවරයා තමන්ට උපදෙස්‌ ලබා දී තිබෙන බව හෙතෙම කීය. ඒ අනුව අවශ්‍ය සියලු පියවර මේ වන විටත් සැලසුම් කරමින් සිටින බව දිසානායක මහතා පැවසීය.

අලුතින් හදන කිසිම පක්‍ෂයක්‌ සංවිධානයක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට අභියෝගයක්‌ නොවන බව කී ඒ මහතා අතීතයේ ද එලෙස ගොඩ නැඟුණ බලවේග දියවී ගිය බව සිහිපත් කළේය.

දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති කුඩා කල්ලියක්‌ හොරකම් වසා ගන්න අලුත් පක්‍ෂයක්‌ හදනවා යෑයි කියමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ ඩීල් දැමීමට උත්සාහ ගත්තත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දූෂිතයන් සමඟ කිසිම ඩීල් එකක්‌ ඇති කර නොගන්නා බව ද දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කීය.