FAST NEWS

24×7 Around the Globe

ඇමැති විජිත් විජයමුණි ඉතිහාසය මතක් කරයි.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට වඩා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවත් එසේ තිබියදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා පිළිබඳ පමණක් කථාකිරීම විහිලුවක් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) වාරි මාර්ග දෙපාර්ත‍මේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදි අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. මුලින්ම මහ බැංකු අධිපති‍ ගැන චෝදනාව ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් මහින්ද අමරවීර මහතා. එතුමා තමයි ගිහිල්ලා අල්ලස් කොමිසමට මේ පිළිබඳ පැමිණිලි කළේ.

පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු මේ පිළිබඳ කෝප් කමිටුව තුළ සාකච්ඡා කළා. ඒ අනුව රජයට සෘජු තීරණයක් ගන්න පුළුවන් වුණා මහ බැංකු අධිපතිත්වය ගැන.

කෝප් කමිටුව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කළ දේවල් පිළිබඳ විගණකාධිපතිතුමාගේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා.

අපි රජය තුළ සිටියත් මිතුරු ප්‍රතිවිරෝධතාවන් සහ විවේචනයන් ඉදිරිපත් කරන බව මෙයින් පැහැදිලිව පෙනෙනවා .

අපිට හැකි වෙලා තියෙනවා නිවැරැදි ආකාරයෙන් රාජ්‍ය කළමනාකාරිත්වය නිසි පරිදි ගෙන යන්න.

මේ විවේචනයන් ඉදිරිපත් කරන්නේ රජය දුර්වල කරන්න නෙමෙයි රජය ශක්තිමත් කරන්නයි. මේ ආකාරයේ ගනුදෙනු පසුගිය ආණ්ඩු කාලයේත් බරපතළ විදිහට සිදුවුණා.

විශේෂයෙන් හෙජින් ගනුදෙනුව මිලියන 800ක්. එය බේරුම් කරන්නත් ඒ හා සමාන මුදලක් යොදවන්න සිදු වුණා. ඒ වගේම ග්‍රීක බැඳුම්කර නිසා අපි මිලියන 700ක පාඩුවක් ලැබුවා.

ඒ නිසා මේ රජය තුළ විතරක් වුණ දෙයක් නෙමෙයි මහ බැංකු බැඳුම්කර සිදුවීම.