කණ්ඩායමක් වශයෙන් සෑම තරගයකම ජයග්‍රහණය වෙනුවෙන් දැඩි උත්සාහයක නිරත වුවද පන්දුවට පහරදීම, පන්දු යැවීම හා පන්දු රැකීමේ අංශ තුනෙන් එක් අංශයක දක්වන අඩු දක්ෂතාව මෙම තරගයේ පරාජයටද ප්‍රධාන වශයෙන් හේතුවූ බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (30දා) අලුයම අවසන් වූ සිවුවැනි එක්දින තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.
සංචාරක ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති තීරණාත්මක සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 06ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර, එම ජයග්‍රහණයත් සමගින් තරග 05කින් යුත් එක්දින තරගාවලියේ ජය තරගයක් ඉතිරිව තිබියදීම හිමි කරගැනීමට එංගලන්තයට හැකිවිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් පැවසුවේ, පිතිකරුවන් ඔවුන්ගේ රාජකාරිය නිවැරදිව ඉටුකළද, තරගය පරාජයට පත්වීම පිළිබඳව දැඩිලෙස කනගාටුවට පත්වන බවයි.
මෙම තරගයේ වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 42 කට සීමාවූ අතර, එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 42 අවසනදී කඩුලු 05ක් දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත් විය.
“මම හිතන්නෙ අපි රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත්. නමුත් අංශ තුනෙන් (පන්දුවට පහරදීම, පන්දු යැවීමෙ හා පන්දු රැකීම) එක් අංශයක් සෑම තරගයකදීම දුර්වල වීම කනගාටුවට කාරණයක්. මෙම තරගයේදීත් පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වෙ නැහැ” මැතිව්ස් පවසයි.