ටෙස්‌ට්‌ පිලේ කඩුලු රැකීම කුසල්ද චන්දිද?

ටෙස්‌ට්‌ පිලේ කඩුලු රැකීම කුසල්ද චන්දිද?

පකිස්‌තානය සමග ලබන 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කඩුලු රකින්නා වශයෙන් කුසල් පෙරේරා හෝ දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.

එක්‌දින තරගවලට පමණක්‌ සීමා වී සිටි කුසල් පෙරේරා පසුගියදා පැවැති පකිස්‌තාන් ‘ඒ’ කණ්‌ඩායම සමග සිව්දින තරගාවලියේදී පිතිකරුවකු ලෙස ශතක දෙකක්‌ ලබාගැනීම සහ කඩුලු රැකීමේදී දැක්‌වූ දක්‍ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

17 වැනිදා ආරම්භ වන ටෙස්‌ට්‌ තරගයේදී කුසල් පෙරේරා ටෙස්‌ට්‌ වරම් ලැබුවහොත් ඔහු ශ්‍රී ලංකාවේ 19 වැනි ටෙස්‌ට්‌ කඩුලු රකින්නා වශයෙන් කටයුතු කරනු ඇත. එහෙත් දිනේෂ් චන්දිමාල් මීට පෙර ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ කඩුලු රකින්නා වශයෙන් ක්‍රීඩා කර තිබීම සහ පකිස්‌තානය සමග පැවැත්වෙන තෙදින පුහුණු තරගයේදී කඩුලු රකින්නා වශයෙන් ක්‍රීඩා කිරීම මත මෙම දෙදෙනාගෙන් එක්‌ අයෙකුට අදාළ රාජකාරිය පැවරීමට තීරණය කර තිබේ.

ඊයේ ආරම්භ වු පකිස්‌තාන් කණ්‌ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්‌ඩායම අතර තරගයේදී ලකුණු අතර සිටි කුසල් පෙරේරාට අවස්‌ථාව ලබා නොදුන්නේ ඇයිදැයි ක්‍රිකට්‌ තේරීම් කමිටු නිලධාරියකුගෙන් කළ විමසීමකදී පවසා සිටියේ, ”සෑම ක්‍රීඩකයකුට අවස්‌ථාව ලබා දිය යුතුයි. කුසල් පකිස්‌තාන් ‘ඒ’ තරගාවලියේ හොඳටම ක්‍රීඩා කළා. නමුත් තවත් අයකුට ඒ අවස්‌ථාව දීල බලන්න ඕන. කුසල් ලැබුණ අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත්තා.” යනුවෙන් පැවසීය.

කෙසේ වෙතත් නම් කරන ලද ටෙස්‌ට්‌ සංචිතයේ කුසල් පෙරේරාට අමතරව කඩුලු රැකීමේ හැකියාව තිබෙන්නේ කෞෂාල් සිල්වාට සහ දිනේෂ් චන්දිමාල්ට පමණි. ඔවුන් දෙදෙනාම පිතිකරු ලැයිස්‌තුවේ ඉදිරියෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් කුසල් පෙරේරාට කඩුලු රකින්නාගේ රාජකාරිය පැවරීමට වැඩි අවස්‌ථාවක්‌ ඇතැයි වාර්තා වේ.