කොටකෙතන ඝාතන රැල්ල පිටුපස දේශපාලන හස්තයක්-අනුර කුමාර දිසානායක

කොටකෙතන ඝාතන රැල්ල පිටුපස දේශපාලන හස්තයක්-අනුර කුමාර දිසානායක

කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ ඝාතන රැල්ල පිටුපස යම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි නායක අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ කොටකෙතන ඝාතනවලට අදාළව ක්‍රියාත්මක වූ පොලිස් විමර්ශන සඳහා ද එවැනි බලපෑමක් තිබූ බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ කාන්තා ඝාතන සම්බන්ධයෙන් යළි අවධානය යොමුවන්නේ 2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පසුගිය 28 වැනිදා තීරණය කිරීමත් සමඟයි.

63 හැවිරිදි ලියනාරච්චිගේ ප්‍රේමවතී සහ ඇගේ දියණිය වන 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි ඝාතනය කර ඔවුන්ගේ නිවස තුළම ගිනි තැබීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කළේ නීතිපතිවරයා විසින්. කොටකෙතන ඝාතන සිද්ධි මාලාවට අදාළව නීතිපතිවරයා ගොනුකළ පළමු නඩුවද මෙයයි. මීට අදාළව නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත කුමාර සහ ලොකුගම් හේවාගේ මිථිල යන සැකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබුණා.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ සිද්ධියට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් ආචාරිගේ සිරිපාල නැමැත්තාගේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරින් දෙදෙනාගේ සාක්ෂි එකිනෙකට පරස්පර බවයි. එම නිසා අදාළ සාක්ෂි විශ්වසනීයත්වයෙන් තොර බවට අධිකරණය තීන්දු කර තිබුනා. මෙම තීන්දුවත් සමඟ කහවත්ත ප්‍රදේශයේ ජනතා උද්ඝෝෂණ මතුවූ අතර, මෙම සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට හේතුවූ කරුණු පිළිබඳව විවිධ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් වන්නේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ පොලිස් විමර්ශනවලදී කිසිදු දේශපාලන බලපෑමක් සිදුනොවූ බවයි.