FAST NEWS

24×7 Around the Globe

T20 ලෝක කුසලානය හා කණ්ඩායමේ සැගවුණු තැන් ගැන වැන්ඩසේ මාධ්‍යයට කියයි.

ඉන්දියාවේදී  පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර දින සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව කණගාටු නොවන බවත් නැවත පැමිණ කණ්ඩායමට උපරිමය ලබාදීම තම එකම අරමුණ වූ බවත් යොවුන් පා දඟ පන්දු යවන ක‍්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ඊයේ (27) පැවසීය.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් දිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක‍්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට වැන්ඩසේ සහභාගි විය.

ලෝක කුසලානය පිළිබඳව වැන්ඩසේ එහිදි මාධ්‍ය වෙත කරුණු කිහිපයක් අනාවරණය කලේය.

”ඒ වෙලාවෙ මට කථා කරලා කිව්වා ලසිත් අයියා තුවාල වෙලා ඉන්නෙ කියලා. ඒ වෙලවේ මට තේරුණා ඇයි සංචිතයෙන් එලියට දැම්මේ කියලා. ඒ අවස්ථාවේදී මාව එළියට දාන්න වුණා. දුක් වුණේ නෑ. මට නැවත කණ්ඩායමට එන්න ලැබුණා”

”මට ඕන වුණා නැවත සංචිතයට ආවම… මොනවා වුණත්… කණ්ඩායමට යම් දෙයක් කරලා ජයග‍්‍රහණයට ගෙනියන්න. මම හිතුවේ මගේ උපරිම කණ්ඩායමට දෙන්න පමණයි”

‘‘අපේ පසු බෑමට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපිට පසුගිය වසරේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් තිදෙනෙක් අහිමිවුණා. අපේ කණ්ඩායම මේ වන විට ඉන්නේ නැවත සකස් වෙමින් සිටින අවධියේ. අපේ අනාගතයේ හොඳින් ක‍්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා”

”ඉන්දියානු තණතීරු දඟ පන්දු යවන්නන්ට සෑම විටම යෝග්‍ය වෙනවා. බොහෝ දඟ පන්දු යවන්නන් දස්කම් අතරට ආවා, විශේෂයෙන් පා දඟ පන්දු යවන්නන්. පෞද්ගලිකව මා සතුටු වෙනවා මගේ කණ්ඩායමට යම් දෙයක් ලබාදීමට හැකිවීම ගැන”

”මගේ රට ක‍්‍රීඩා කරන්න ලැබීම මට සෑම විටම ගෞරවයක්. මම සියලූම අභියෝග නොපැකිළිව බාර ගත්තා. ක‍්‍රීඩා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා”

එංගලන්තයට එරෙහිව පසුගිය 26 වැනිදා පැවැති තීරණාත්මක තරගය පිළිබඳව වැන්ඩසේ මෙසේ පැවසීය
.
”අපේ කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණේ හොඳ සටනක් දිලයි. අපිව කිසිම කණ්ඩායමකට පහසුවට ගන්න අවස්ථාවක් තිබුණේ නෑ. අපි සෑම විටම ඉලක්ක කළේ ජයග‍්‍රහණයයි”

”ඒ තණතීරුව වෙනත් ඒවා වගේම දඟ කැවුණේ නෑ කියලා මට හිතෙනවා. මම උත්සහ කළා දඟ කැවීමට වඩා පිතිකරුවන්ට ලකුණු ලබා නොදෙන්න. විස්සයි20 තරගයකදී හතරේ පහර වැලැක්වීම ඉතාමත් වැදගත් වෙනවා”

”අපේ පිතිකරුවො ඉතාමත් දක්‍ෂයි. මෙහිදී වුණේ ඒ  ඒ අවස්ථාවේදී පහර තෝරා ගැනීම තමයි. අපේ එංගලන්තයට එරෙහිව පිතිකරුවෝ දස්කම් පෙන්නුවා. එහිදී පිතිකරුවෝ ඉතාමත් හොඳින් පහර දෙමින් විශාල ලකුණු සංඛ්‍යාවක් තිබූ තරගය ලකුණු 10 කින් පරාජය වුණේ”

”රංගන හේරත් දඟ පන්දු යවන්නකු ලෙස ගත්විට දැවැන්ත චරිතයක්, ඔහු ශ‍්‍රී ලංකාවට ගොඩක් දේවල් කරලා තියෙනවා. ඔහුගේ අඩුව පුරවන්න ගොඩක් කාලයක් ගත වෙයි. මම ඒ අවස්ථාව ගන්න ඉතාමත් ඕනෑමකින් සූදානමින් සිටිනවා”