FAST NEWS

24×7 Around the Globe

මියන්මාරයේ ‘රෝහින්ග්‍යා‘ මුස්ලිම්වරු මැලේසියාවේ කඳවුරුවල දුක් විඳිති.

මියන්මාරයෙන් පැන ගොස් අසල්වැසි තායිලන්තය, ඉන්දුනීසියාව  හා මැලේසියාව වැනි රටවල අනවසරයෙන් පදිංචිව සිටියදී අල්ලාගත් ‘රෝහින්ග්‍යා‘ මුස්ලිම්වරුන් අන්ත අසරණබවින්  පීඩා විඳින බව බි‍්‍රතාන්‍යයේ සිට ක‍්‍රියාත්මක වන ‘රෝහින්ග්‍යා‘ මුස්ලිම්වරුන් ගේ අයිතීන් සුරක්ෂිත කරදීමේ සංවිධානය පවසයි.

මොවුන් අතර ළමයින් පහළොස් දෙනෙකු ද සිටින බව මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි.

තමන් රඳවා ඇත්තේ සතුන් ගාල් කරන අන්දමට බවත්, ඉඩකඩ මඳකම නිසා නිදාගැනීමට පවා අපහසු බවත් මැලේසියාවේ ‘සොන්ග්ලා‘සරණාගත කඳවුරේ වෙසෙන රැඳවියන් මෙම මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කණ්ඩායමක් ඔවුන්ගේ පහසුකම් සොයාබැලීමට ගිය විටදී පවසා ඇත.

තමන්ට විවේකයෙන් එළියේ ඇවිදීමටවත්, අඩුම තරමේ හොඳ වාතාශ‍්‍රය ආග‍්‍රහණය කිරීමටවත් ඉඩක් නැති බව ඔවුන්ට පැහැදිලි කර දී තිබේ. මැලේසියාවේ ‘සොන්ගාලා‘ කඳවුර වැනි මෙලෙස ඉතා අපහසුවෙන් සෙනග තෙරපී වෙසෙන  කඳවුරුවල මේ අය රඳවා සිටිති.

මෙම සරණාගතයන් ගේ සෞඛ්‍ය සේවා සහ පානීය ජලය මෙන්ම සනීපාරක්ෂක පහසුකම් ද ඉතා අසතුටුදායක බව මේ සම්බන්ධයෙන් නිකුත් කළ එම සරණාගත අයිතින් සුරැකීමේ සංවිධානයේ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.  සරණාගතයන් පිළිබඳ එ. ජා. මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට පවා මෙම කඳවුරුවලට යෑමට අවසර ගැනීම  සීමාසහිත කර ඇති බවත් මෙම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

තමන් නිදැල්ලේ සිටිද්දී ක්වාලාලාම්පූර් පොලිස් නිලධාරීන්ට අසුවුවහොත් තමන් සරණාගතයකු  බව සනාථ කළ හැකි ලියකියවිලි නොතිබුණොත් නොයෙක් පීඩා විඳීමටත්, කප්පම් ගෙවීමටත් සිදුවන බව ද සරණාගතයන් පවසයි.

සරණාගතයින් පිළිබඳ එ. ජා. මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි සහතිකය ලබාගැනීම තරමක් අපහසු බවත් එලෙස  ලියාපදිංචිය පෙන්විය හැකිනම් පොලිස් නිලධාරීන් ගෙන් ගැලවිය හැකි බවත් ඔවුන් තවදුරටත් පවසයි.