හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගි වන පළමු තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව කොල්කටාහි ඊඞ්න් ගාන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය.
ඊඞ්න් ගාන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (16) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ මෙම තරගය පළමු තරගය වීම නිසා ඉතාමත් වැදගත් බවයි.
එහිදී මැතිව්ස් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
”ඇෆ්ගනිස්තානු පිල පහසුවට ගන්න බෑ. ලෝක ක්‍රිකට් පිටියේ ඉතාමත් හොඳ කණ්ඩායමක්, ප්‍රබල පන්දු යවන්නන් ඉන්නවා. අපි ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව තරගය පිළිබඳව දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඔවුන්ව පරාජයට කිරීමට ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා”
”පළමු තරගය සෑම විටම වැදගත්, ලෝක කුසලාන තරගාවලියක් වගේ වැදගත් තරගාවලියක පළමු තරගය. විශේෂයෙන් ඒ වගේම විස්සයි 20 පළමු තරගයක් වඩාත් වැදගත්”
”අපිට පුඵවන් නම් පළමු තරගය ජය ලබන්න එවිට කණ්ඩායමට ලොකු ආත්ම ශක්තියක් ලැබෙනවා. ඒ නිසා අපි පළමු තරගය ජය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා”
”අංශ තුනෙන්ම දියුණුවක් ලබාගෙන තිබෙනවා. ඇෆ්ගනිස්තානු තරගය කණ්ඩායමක් හැටියට විශිෂ්ට ලෙස අවසන් කිරීමට සූදානමින් ඉන්වා”
ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙම තරගයට ක්‍රීඩා කරන්නේද යන ප්‍රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.
”දැනට තියෙන තත්ත්වය අනුව ඔව්ද? නැද්ද? කියන්න බෑ. හෙට පෙරවරුවේ පන්දු යැවීමෙන් පසුවයි ක්‍රීඩා කරනවාද කියලා තීරණය කරන්නේ. ඔහු පුහුණු සැසි දෙකේදී කෙටි ධාවනයකින් ඕවර කීපයක් යැව්වා. ඔහු හෙට පෙරවරුවේ සාමාන්‍ය ධාවනයෙන් පන්දු යැවිය යුතුව තිබෙනවා”
පුහුණු තරග දෙකෙන් පසුව කණ්ඩායමේ සූදානම පිළිබදව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.
”අපි කණ්ඩායමක් වශයෙන් පුහුණු තරගය දෙකම පරාජය වුණාට ගොඩක් අවස්ථාවලදී හොඳින් ක්‍රීඩා කළා. ඕවර තුන හතරක වගේ වෙනසකදී තමයි තරගය අනෙක් පැත්තට ගියේ. ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ නිසා අපේ ප්‍රධාන පන්දු යවන්නන් නවසීලන්තයට එරෙහිව තරගයට ක්‍රීඩා කළේ නෑ.
පාකිස්තානයට එරෙහිව අපේ සමස්ත කණ්ඩායම ක්‍රීඩා කළා. ඉතාමත් හොඳින් පන්දු යැව්වා. අවසන් ඕවර හතරෙදි පමණයි ලකුණු රැස්කළේ. පිතිකරණයේදීත් ඉතාමත් ඉදිරියෙන් සිටියා. 11 වැනි ඕවරයේ සිට 15 වැනි ඕවරය දක්වා අපේ කඩුලූ හතරක් බිඳ වැටුණා. මම, මිලින්ද සහ තිසර ඕවර තුනක වගේ කාලයක් තුළ දැවී ගියා ඒකෙන් තමයි අපි පරාජයට පත්වුණේ”
”අපි කණ්ඩායමක් හැටියට හොදින් ක්‍රීඩා කළා. අපි විශ්වාස කරනවා අපිට ඉදිරියට යන්න පුඵවන් කියලා”
”අපිට තියන ප්රශ්නය අපි දිගටම පරාජය වීමයි. අපි හැම උත්සහයක්ම ගන්නවා හැම තරගයක්ම ජයග්‍රහණය කරන්න. අවාසනාව කියලා කියන්න බෑ, අපි හොඳින් ක්‍රීඩා නොකරපු නිසායි පරාජය වුණේ. මේ තත්ත්වයෙන් ගොඩ එන්න අපි පහළොස් දෙනා ගොඩක් එකතු වෙලා වැඩ කරනවා”
සංචිතයේ හදිසි වෙනස් කිරීමත් සමඟ පිතිකරු ලැයිස්තුවේ වෙනස්වීම පිළිබදව කළ විමසුමේදී මැතිව්ස් මෙසේ පැවසීය.
”තිරිමාන්න හොඳින් පන්දුවට පහර දෙමින් සිටිනවා. ඔහු අංක තුන ස්ථානයේ සාර්ථක වීම හේතුවෙන් පිතිකරු ලැයිස්තුවෙන් සාර්ථක බවක් දකින්න තියෙනවා”
”මේ අවස්ථාවේදී පිතිකරු ලැයිස්තුවේ ලොකු වෙනසක් කරන්න අවශ්‍ය නෑ.
පිතිකරුවන් උඩට යටට මාරු කරලා අපි ආසියානු කුසලාන තරගාවලියේදී පාඩමක් ඉගෙන ගත්තා. අපි උත්සහ කරනවා පිතිකරු ලැයිස්තුව ස්ථාවර කරන්න. වෙනත් උපායශිලි උවමනාවක් මත හැර පිතිකරු ලැයිස්තුව වෙනස් කරන්න බලාපොරොත්තුවක් නෑ”
”කපුගෙදර මේ වන විට අංක හතර ස්ථානයේ පන්දුවට පහර දෙනවා. කපුගෙදර පහර දෙන ස්ථානය තීරණය වෙනවා තරගයේ අවස්ථාව සහ ප්‍රතිවාදීන් තත්ත්වය අනුවයි”
ලෝක ශූර 2014 කණ්ඩායම සහ මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම අතර මැතිව්ස් දකින වෙනස පිළිබඳව මෙසේ පැවසීය.
”සංගා සහ මහේල සිටි ලෝක ශූර කණ්ඩායම දැඩි ස්ථාවර කණ්ඩායමක්. අපිට බෑ සැම විටම අභියෝගය ගන්න සංගා සහ මහේල ගැන කථා කරන්න. අපේ කණ්ඩායම තවම ස්ථාවර වෙලා නෑ. අපිට අවශ්‍යයි ස්ථාවර වෙන්න”
”මම හිතනවා අපේ කණ්ඩායම දැන් ස්ථාවර වෙලා තියෙන්නේ. බොහෝ ප්‍රධාන වගකීම් භාර වී අවසන්. ඒ වගේම වගකීම පැහැදිළි වී අවසන්. මම හිතනවා දස්කම් අතරට එන්න වඩාත් ස්ථාවර වීම තමයි දැන් අවශ්‍ය කියලා”
”මම හිතනවා සෑම කණ්ඩායමකටම ලෝක කුසලානය ජය ගැනීමේ අවස්ථාව තිබෙනවා කියා. අපි ආසන්නතම ලෝක ශූරයන් කියලා පීඩනයක් ඇති කරගන්නේ නෑ. නිදහසේ ක්‍රීඩා කරනවා”
”මම නායකත්වය බලාපොරොත්තුවෙන් සිටියේ නෑ. නමුත් නායකත්වයේ වගකීම ගන්න සූදානමින් සිටියා” යැයි ද ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
ඇෆ්ගනිස්තානු පිලේ නායක අස්ගර් ස්ටැනික්ෂායි ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට තම කණ්ඩායමට හොඳ අවස්ථාවක් ඇති බවයි.
”2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී අපි ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වුණා. එම කණ්ඩායමේ සංගක්කාර සහ ජයවර්ධන වැනි ප්‍රබල ක්‍රීඩකයන් සිටියා. නමුත් මෙවර ඒ ලොකු නම් ඇතුළත්ව නෑ. ඒ නිසා මෙවර ශ්‍රී ලංකාව පරාජය කිරීමට අපිට හොඳ අවස්ථාවක් තියෙනවා”
ශ්‍රී ලංකා කණ්ඩායම ජදව්පූර් විශ්වවිද්‍යාලය ක්‍රීඩාංගණයේදී ඊයේ (16) පෙරවරුවේ පුහුණු සැසියට සහභාගි විය.







