2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට සති තුනක පමණ කාලයක් තිබෙන බැවින් එම කාලය තුළ ආබාධයෙන් යථා තත්ත්වයට පැමිණීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත්, කණ්ඩායමේ බලාපොරොත්තුවද තමන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩාකිරීම බවත් ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (04දා) පැවැත්වෙන ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය වෙනුවෙන් පුහුණුවීම් සඳහා ඊයේ මීර්පූර් නුවරට පැමිණි අවස්ථාවේ කළ විමසීමකදී මාලිංග මෙම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මාලිංග පවසා සිටියේ, ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අසාර්ථක වුවත් එය ලෝක කුසලාන තරගාවලියට බාධාවක් කරන නොගන්නා බවත්, තරගාවලියක් පරාජය වීම දක්‍ෂතා අවතක්සේරු කරන්න හේතුවක් නොවන බවත්ය.
තවදුරටත් අදහස් දැක්වූ මාලිංග,
“ආබාධ තත්ත්වය යථා තත්ත්වයට පත්වන කාලය ගැන කියන්න අමාරුයි. මගේ අදහස තියෙන්නෙ හෙට (අද) තරගයත් ක්‍රීඩා කරලා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ ඉඳන් ක්‍රීඩාකරන්න. ලෝක කුසලාන තරගාවලියට සති තුනක පමණ කාලයක් තියෙනවා, ඒ කාලය ප්‍රමාණවත් වෙයි සූදානම් වෙන්න. කණ්ඩායමේ සියලු දෙනාගෙම බලාපොරොත්තුවත් මම ලෝක කුසලානය ක්‍රීඩා කරනවා දකින්න” යැයි මාලිංග පවසා සිටියේය.
“ඉදිරියේදී තිබෙන පුහුණු තරගවලදී කණ්ඩායමේ සිටින සියලුම ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම වටිනවා. ලෝක කුසලානයේ පළමු තරගයට හොඳ කණ්ඩායමක් හොයාගන්න පුළුවන් වෙයි. පසුගිය තරගාවලි කිහිපයේම අපට හොඳින් දක්‍ෂතා දක්වන්න බැරිවුණා. අපට ඕන පිතිකරුවන්ටත් පන්දු යවන්නන්ටත් ඔවුන්ගේ දක්‍ෂතා ඉදිරියට ගන්න හොඳ මානසිකත්වයක් හදාදෙන්න. කණ්ඩායමේ ලොකු වෙනස්කම් කළා කියලා ඒ දේවල් හදාගන්න අමාරුයි.
ආසියානු කුසලාන තරගාවලියට මේ කණ්ඩායම තෝරාගත්තේ ලෝක කුසලාන තරගාවලියත් ඉලක්ක කරගෙන. අපි දැනගෙන හිටියා ඉන්දියාවේ හා බංග්ලාදේශයේ තණතීරු ගැන. ඉන්දීය තණතිලිවල දඟපන්දු යවන්නන්ට ලොකු දෙයක් කරන්න පුළුවන්. එය අපට ගොඩක් පහසුදායක වේවි.ලෝක කුසලාන සංචිතයේ නවක ක්‍රීඩකයන් ගැන ගැටලුවක් නැහැ. දසුන් ශානක කියන්නෙ ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි20 (පළමු පෙළ) තරගයක ශතක දෙකක් ලබාගත් එකම ක්‍රීඩකයා. ඒ වගේම ජෙෆ්රි වැන්ඩර්සේ, මාලිංග බණ්ඩාරගෙන් පසුව හමුවූ දකුණත් පාදඟ පන්දු යවන්නා. එමනිසා අපට ඉන්න එකම වත්කම ඔහු. කඩුලු රකින්නෙකු ලෙස දිනේෂ් චන්දිමාල්ගෙන් පසුව ඉන්නේ නිරෝෂන් දික්වැල්ල.
ඔහුත් සුපිරි පන්දුවාර විස්සයි20 තරගාවලියේ ඉදිරියෙන් සිටි පිතිකරුවා. ඒ අනුව මෙම ක්‍රීඩකයන්ට මේ මොහොතේ ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලබාදෙන්න බැරිනම් මම හිතන්නේ නැහැ ඔවුන් ලංකාවේ පළමු පෙළ ක්‍රීඩා කරලා තේරුමක් නැහැ. නම්කර තිබෙන කණ්ඩායම මේ මොහොත් ශ්‍රී ලංකාවට තෝරාගත හැකි හොඳම කණ්ඩායම. තරගාවලියේ තරග දෙක තුනක් පරාජය වුණා කියන එක අපේ දක්‍ෂතා අවතක්සේරු කරන්න හේතුවක් නෙමෙයි. අපි වසර හතක් තුළ ලෝක කුසලාන පහකට සහභාගිවෙලා ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ කණ්ඩායමක්. එමනිසා මම හිතනවා තරගයක දෙකක දක්‍ෂතා අතරට එන්න බැරිවුණා කියලා බලාපොරොත්තු නැතිකරගන්න හොඳ නැහැ” යැයි මාලිංග අවසන් වශයෙන් පැවසීය.