FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ පළමු අභියෝගය අද රාත්‍රියේ.

වත්මන් ආසියානු ශූරයන් ලෙසින් කිරුළ පළන් සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පළමු තරගය හෙවත් එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය කණ්‌ඩායම අතර තරගය අද (25 දා) බංග්ලාදේශයේ ධකා අගනුවර පිහිටා ඇති ශ්‍රෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7 ට ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින අම්ජාඩ් ජාවෙඩ්ගේ නායකත්වයෙන් යුත් එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය කණ්‌ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයේදී තරග වැදි තරග 3 න් තුනම ජය ලබා ප්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ආසියානු ශූරයන් වීමට අමතරව වත්මන් විස්‌සයි/20 ලෝක ශූරයන් ලෙසින්ද කිරුළ දරා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙවර තරගාවලියට අවතීර්ණ වී සිටින තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ගැන දැඩි විශ්වාසයක්‌ තබාගෙන වීම විශේෂත්වයකි. පෙර වසරවල පැවැති තරගාවලිවලදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර යන දෙදෙනාම ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ශක්‌තිය බවට පත්වී සිටි නමුත් මෙවර ඔවුන් දෙදෙනාගේ වගකීම වැඩි වශයෙන්ම උප නායක මැතිව්ස්‌ සහ දිනේෂ් චන්දිමාල් වෙත පැවැරී තිබේ.

අද තරගයට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංගගේ සහභාගිත්වය අවිනිශ්චිතව පවතියි. පාදයේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය තවමත් සුව අතට පත්වීනොවීම එයට හේතුවන්නට ඇතැයි විදෙස්‌ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. කෙසේ වෙතත් මාලිංග මෙම තරගාවලියට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව, ශ්‍රී ලංකා කණ්‌ඩායම තරගාවලිය සඳහා පිටත්ව යැමට ප්‍රථමද මාර්තෘකාවට බඳුන්විය.

යම් ලෙසකින් අද තරගයට මාලිංග ක්‍රීඩා නොකරන්නේ නම් කණ්‌ඩායම මෙහෙයවීම ඇන්ජලෝ මැතිව්ස්‌ට පැවැරෙන අතර ඔහුගේ සහායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරනු ඇත. අවසන් වරට ක්‍රීඩා කරන ලද තරග කීපයේදීම අසාර්ථක භාවයට පත්ව සිටින ටී. එම්. ඩිල්ෂාන්ටද අද තරගයේදී වැඩි කාර්ය භාරයක්‌ පැවරෙනු ඇත. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පමණක්‌ නොව මෙවර තරගාවලියට සහභාගිවී සිටින සියලුම රටවල ක්‍රීඩකයන්ට වඩා ඩිල්ෂාන් අත්දැකීම් මෙන්ම වයස්‌ මට්‌ටමින් ඉදිරියෙන් සිටිනු ඇත. ඒ අනුව බැලීමේදී ඔහු දක්‌ෂතා අතරට පැමිණීම නවකයන්ගේ දක්‌ෂතාවන් වලටද මහත් රුකුලක්‌ වනු ඇත.

එමෙන්ම අද තරගයේදී ඩිල්ෂාන් ලකුණු 48 ක්‌ රැස්‌ කිරීමට සමත්වුවහොත්, විස්‌සයි/20 තරගවල ලොව වැඩිම ලකුණු ලබා සිටින පිතිකරුවන් අතර දෙවැනි ස්‌ථානයට පත්වීමට අවස්‌ථාව උදාවනු ඇත. ඩිල්ෂාන්ට සහායක ආරම්භක පිතිකරුවකු නොමැතිවීම ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ දිනවල මුහුණ පා තිබෙන දැඩි ගැටලුවක්‌ වන නමුත්, මෙහිදී බොහෝ විට ඒ සඳහා ෂෙහාන් ජයසූරියගේ සේවය ලබාගනු ඇතැයි විදෙස්‌ මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් ප්‍රතිවාදී එක්‌සත් අරාබි එමීර් පිල ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආධුනික තත්ත්වයේ පසුවුවද බංග්ලාදේශයට පැමිණ ඔවුන් දක්‌වන ලද දක්‌ෂතා මෙන්ම විස්‌සයි/20 තරගවලදී ඇති අවිනිශ්චිත භාවය ප්‍රධාන කොට ඔවුන් පිළිබඳ සුලුවෙන් තැකීම එතරම් සුබ දායක නොවනු ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායම / ලසිත් මාලිංග(නායක), ෂෙහාන් ජයසූරිය, ටී. එම්. ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, චාමර කපුගෙදර, දසුන් ශානක, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, රංගන හේරත්, නිරෝෂන් දික්‌වැල්ල, මිලින්ද සිරිවර්ධන, ජෙෆ්රි වැන්ඩර්සි, දුෂ්මන්ත චමීර.

එක්‌සත් අරාබි එමීර් කණ්‌ඩායම / අම්ජාඩ් ජාවෙඩ්(නායඛ), ස්‌වප්නිල් පටිල්, අහමඩ් රාසා, ෆාහඩ් තරික්‌, ෆර්හාන් අහමඩ්, මොහොමඩ් නවීඩ්, මොහොමඩ් ෂේසාඩ්, මොහොමඩ් උස්‌මාන්, මුහාමාඩ් කලීම්, කදීර් අහමඩ්, රෝහන් මුස්‌තාපා, සක්‌ලෙන් හයිඩර්, ශයිමන් අන්වර්, උස්‌මාන් මුස්‌ටාක්‌, සහීර් මක්‌සූඩ්.