FAST NEWS

24×7 Around the Globe

ජොන්සන් ඇන්ඞ් ජොන්සන් නිෂ්පාදනයක් හේතුවෙන් ඩිම්බ කෝෂ පිළිකා?

ඩිම්බ කෝෂ පිළිකාවක් හේතුවෙන් මියගිය කාන්තාවකගේ පවුලට ඩොලර් මිලියන 72ක වන්දි මුදලක් ගෙවන ලෙස ඇමරිකාවේ මිසූරි ප‍්‍රාන්තයේ අධිකරණයක් විසින් ජොන්සන් ඇන්ඞ් ජොන්සන් සමාගම වෙත නියෝග කර ඇත.

ලෝක ඖෂධ නිෂ්පාදන දැවැන්තයෙකු වන ජොන්සන් ඇන්ඞ් ජොන්සන් නිෂ්පාදනය කරන පවුඩර් හේතුවෙන් ඩිම්බ කෝෂ පිළිකා ඇතිවන බව තහවුරු වීම සමග මෙම වන්දි මුදල පණවා තිබේ.

2015 ඔක්තෝබර් මස මියගිය ඇලබාමා ප‍්‍රාන්තවාසී ජැකලයින් සොල්ටර් ෆොක්ස් මියයාමට පෙර තවත් පුද්ගලයින් 60ක් සමග ජොන්සන් ඇන්ඞ් ජොන්සන් සමාගමට එරෙහිව නඩු පවරා තිබිණි.

මරණින් පසු ඇගේ පුත‍්‍රයා නඩුවේ සාක්‍ෂිකරුවකු වූ අතර සැබෑ වන්දි ඩොලර් මිලියන 10ක් සහ දඬුවම් වන්දි ඩොලර් මිලියන 62ක් ගෙවන ලෙස ශාන්ත ලූයිස් අධිකරණය විසින් නියෝග කර ඇත.

නඩු විභාගයේදී සාක්‍ෂි දෙමින් ෆොක්ස් පවසා තිබුණේ ඇය කාන්තා සනීපාරක්‍ෂාව වෙනුවෙන් බේබි පවුඩර් හා ෂවර් ජෙල් වසර 35ක් පුරා භාවිතා කළ බවයි.

ෆොක්ස්ගේ ඩිම්බ කෝෂ පිළිකාව ජොන්සන් ඇන්ඞ් ජොන්සන් නිෂ්පාදන තුළ තිබූ ටැල්ක් හේතුවෙන් ඇතිවූ බව නීතිඥයන් විසින් තර්ක කරන ලදී.

සිය නිෂ්පාදන හේතුවෙන් පිළිකා ඇතිවීමේ අවදානමක් පවතින බව දශක ගණනක් පුරා සමාගම විසින් දැන සිටි නමුත් ලාභ උපයන තරගය නිසා ඒ බව පාරිභෝගිකයන් වෙත දැනුම්දීම මගහැරි බවද ජැකලයින් සෝල්ටර් ෆොක්ස්ගේ නීතිඥයන්ගේ අදහස විය.