FAST NEWS

24×7 Around the Globe

සිකා වෛරසයට බෙහෙත් සොයා ටෙක්සාස් සරසවියේ විද්‍යාඥයින් බ්‍රසීලයට.

සිකා වෛරසය මේ දිනවල ‍ලතින් අමෙරිකා කලාපයේ පමණක් නොව ලොව රටවල් රැසක ජනතාව තැති ගැන්මට පත්කළ වෛරසයකි.

විදෙස් වාර්තා සඳහන් කළේ, සිකා වෛරසය වැළඳුණු පුද්ගලයින් 12 පිළිබඳව තොරතුරු ග්වාතමාලාවෙන් ද වාර්තා වන බව ය.
පර්යේෂකයින් පවසන්නේ ඒඩස්’ (Aedes) මදුරුවා හරහා ‘සිකා’ වෛරසය පැතිරෙන නමුත් වෙනත් මාර්ග ඔස්සේ ද වෛරසය පැතිර යා හැකි බව ය.
බ්‍රසීලය චීලි පේරු ඇතුළු රටවල් රැසකින් මෙම සිකා වෛරසය වැළඳුණු පුද්ගලයින් පිළිබඳව වාර්තා වෙති.
මේ අතර පැරගුවේ රාජ්‍යයේ ද සිකා වෛරස ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට සිදුකරන පරීක්ෂණ ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ, එම වෛරසය බ්‍රසීලය ඔස්සේ අමෙරිකා කලාපය තුළ සීඝ්‍රයෙන් පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමෙන් පසුව ය.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ගතවූ සතිය තුළ පමණක් සිකා වෛරසය වැළඳුණු බවට අනුමාන කෙරෙන රෝගීන් 3893 ක් බ්‍රසීලයෙන් වාර්තා වන බව ය.
එමෙන්ම විදෙස් වාර්තා සඳහන් කළේ, සීකා වෛරසයට එන්නතක් සොයා අමෙරිකානු රජය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය.
මෙම වෛරසය පළමු වරට ආසාදනය වූ බවට වාර්තා වූයේ උගන්ඩාවේ වඳුරෙකුට ය.
ඒ 1947 වසරේදී ය.
සීකා වෛරසය සදහා එන්නතක් සොයා ගැනීම වෙනුවෙන් අමෙරිකානු ටෙක්සාස් සරසවියේ විද්‍යාඥයින් පර්යේෂණ ආරම්භ කළේ පසුගියදා ය.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, අදාළ විද්‍යාඥයින් පිරිසමේ දිනවල බ්‍රසීලයට ගොස් සාම්පල එකතු කරමින් විශ්ලේෂණ සිදුකරන බව ය.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එය මුල්වරටය අත්හදා බැලීමට තවත් වසර 2ක් වත් ගතවනු ඇති බවට ය.
එය රෝගීන්ට නිකුත් කිරීමට තවත් වසර 10 ක් පමණ ගතවනු ඇති බවට ඔවුන් පෙන්වා දෙති.
මදුරුවන් මගින් බෝවන සීකා වෛරසය මේ වනවිට ලොව රටවල් 20 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව අවසන්.
මෙහි පවතින වඩාත් අවධානම් තත්ත්වය වනුයේ ගැබිනි මව්වරුන්ට වෛරසය ආසාදනය වූ විට ඔවුන්ට බිහිවන දරුවන්ගේ මොළය නිසි වර්ධනය නොවීම හා මොළයේ දරුණු ආබාධ ඇති වීම ය.