FAST NEWS

24×7 Around the Globe

ප්‍රභූ පවුලක ඩුබායි ගිණුම් ගැන වාර්තා රටට හෙළි කරන ලෙස අනුර ඉල්ලයි.

මෙරට දේශපාලන ප්‍රභූ පවුලක සාමාජිකයකු හා එම පවුලේ සමීපතමන් තිදෙනකු විසින් ඩුබායි හි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුම් තුනක් සම්බන්ධයෙන් වාර්තා රටට හෙළි කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

වංචා දූෂණ සම්බන්ධ පරීක්ෂණ කටයුතු බලපෑම්වලින් තොරව සාධාරණ ලෙස සිදුවිය යුතු බවත් ඒවාට සම්බන්ධ වරදකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුන් විසින් සොරකම් කරන ලද මහජන ධනය නැවත රටට අත්පත් කර ගත යුතු බවත් දිසානායක මහතා කිවේය.

ඒහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා,

පසුගිය 14වැනිදා කැබිනට් තීරණ දැනුම්දීමේ දී ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා දේශපාලන ප්‍රභූ පවුලක සාමාජිකයකු හා එම පවුලේ සමීපතමන් තිදෙනකු ඩුබාහි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුම් තුනක අමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් පවතින බවට හෙළිදරව් වී ඇතැයි කියා සිටියා.

එක් සාමාජිකයෙකුගේ ගිණුමක ඩොලර් බිලියන 1.086ක මුදලක්ද මන්ත්‍රීවරයෙකුව සිටි ව්‍යාපාරිකයෙකුගේ ගිණුමක ඩොලර් මිලියන 500ක මුදලක්ද හිටපු ලේකම්වරයකු හා ආයතන සභාපතිවරයෙකුගේ බද්ධ ගිණුමක ඩොලර් බිලියන 1.8ක මුදලක්ද තැන්පතු ලෙස පවතින බව එහි දී හෙළිදරව් කර සිටියා.

එසේම ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරයෙක් හිටපු පාලකයන් විසින් විදෙස් බැංකුවල සැඟවූ කෝටි 42, 656ක් තමන් දෑසින් දුටුවේ යැයි ජනමාධ්‍ය හමුවේ කියා තිබුණා.

මේ පැහැදිලි කිරීම් අනුව මෙම ගිණුම් සම්බන්ධ සියලූ තොරතුරු මේ වන විට ආණ්ඩුව සතුව ඇති බව හැඟී යනවා.2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේ දී ප්‍රධාන සටන් පාඨයක් බවට පත්වී තිබුණේ දූෂිතයින්ට දඬුවම් ලබාදෙන බවට වූ පොරොන්දුවයි.

වසරකට වැඩි කාලයක් ගතවී ඇති නව පාලනය යටතේ මෙම වංචා හා දූෂණවලට එරෙහිව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටත් සිදුවෙමින් ඇති විමර්ශන කටයුතු අපේක්ෂා කළ තරම් වේගයකින් ඉදිරියට නොයන බවටත් වර්තමාන ආණ්ඩුව විසින් තමන්ගේ බලය වෙනුවෙන් දූෂිතයන් රකිමින් සිටින බවටත් වංචා දූෂණ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවෙමින් තිබෙන බවට සැකපහල කරන බවද හෙතෙම කීය.