තම නිවාස සහ පවුලේ අය අත්හරිමින් අයිඑස් ත්රස්තවාදීන් සමඟ එක් වී සිටින බටහිර රටවල්වලින් ආ කාන්තාවන්ගේ ගණන 550ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කොට ඇත. මෙයින් 100කට වැඩි පිරිසක් ඒ සඳහා පොළඹවා ගෙන ඇත්තේ අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක ෆේස්බුක්, ට්විටර්, ටම්බ්ලර්සහ බ්ලොග් අඩවි හරහා බැව් හෙළි වී ඇත.
ත්‍රස්ත කල්ලි කාන්තාවන් යොදාගන්නා ආකාරය නිරීක්ෂණය කිරීමෙන් විශ්ලේෂකයන්ට එම කල්ලිවල ස්වරූපය ගැන හොඳ අවබෝධයක් ලබාගත හැකි අතර ඔවුන්ට පහර දිය යුත්තේ කෙසේ දැයි හඳුනාගත හැකි යැයි ද යුද විශේෂඥයෝ පවසති. ලංඩන්හි උපක්රමික සංවාද අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා එරීන් සෝල්ට්මන් ප්‍රකාශ කළේ මේ කාන්තාවන් වීර චරිතවලට පෙම් කරමින් මෙසේ හැසිරෙන බවයි. ඉතා සංකීර්ණ වන මේ තත්ත්වයට කාන්තාවන්ගේ පවුල් පසුබිම අධ්‍යාපන මට්ටම සහ වෘත්තීය තත්ත්වය බලපා ඇතැයි ද ඇය කීවා ය. ඒ අයගේ වයස් මට්ටම් 13 සිට 40 දක්වා වෙනස් වන බවද පර්යේෂිකාව වැඩිදුරටත් කීවා ය.








