FAST NEWS

24×7 Around the Globe

ප්‍රගීත් එක්‌නැලිගොඩ මරා දැමූ ස්‌ථානය ගැන තොරතුරු.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා පැහැරගෙන ගොස්‌ ඝාතනය කර ඇත්තේ අක්‌කරේපත්තුව ප්‍රදේශයේදී බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

අක්‌කරේපත්තුව කැලෑ ප්‍රදේශයකදී හෝ මහ මුහුදේදී එක්‌නැලිගොඩ ඝාතනය කරන්නට ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැක පහළ කරන අතර ඔහු මරා දැමූ ස්‌ථානය නිවැරැදිව හඳුනාගැනීමට මේ වන විට පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් ප්‍රගීත් එක්‌නැලිගොඩ ගිරිතලේ හමුදා කඳවුරේ සිට දැස්‌ බැඳ රැගෙන ගොස්‌ අක්‌කරේපත්තුව ප්‍රදේශයේදී ඝාතනය කළ බවට වැදගත් සාක්‍ෂි කීපයක්‌ මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන ඇත.

ගිරිතලේ කඳවුරේ සිට එක්‌නැලිගොඩ අවසන් වරට රැගෙන ගිය හමුදා කණ්‌ඩායම භාරව සිටි කර්නල්වරයාගේ ජංගම දුරකථනය මෙම සිද්ධියෙන් පැය කීපයකට පසු අක්‌කරේපත්තුව ප්‍රදේශයේදී ක්‍රියාත්මක වූ බවට සාක්‍ෂි මේ වන විට ලැබී තිබේ.

මෙම කර්නල්වරයා එක්‌නැලිගොඩ ඝාතනයට සම්බන්ධ අනෙක්‌ පාර්ශ්වයන් සමඟ අක්‌කරේපත්තුවේ සිට දුරකථන සංවාද පවත්වා ඇති බව ද හෙළි වී ඇත.

ප්‍රගීත් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදා කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හයදෙනෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.