තමන්ගේ නම තම වාහනයේ අංක තහඩුව ලෙස ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව තව නොබෝ දිනකින් එම අවස්‌ථාව ශ්‍රී ලාංකිකයන්ට ද උදාවීමට නියමිතය.
යම් කිසි පුද්ගලයෙක්‌ට තම නාමය අංක තහඩුව ලෙස භාවිතා කරන්නට නම් රුපියල් ලක්‌ෂ දහයක සිට ලක්‌ෂ පනහක ගාස්‌තුවක් ගෙවීමට සිදුවන අතර එකම නම කීපදෙනෙක් ඉල්ලා සිටියහොත් එම නම වෙන්දේසි කර වැඩිම මිල ඉදිරිපත් කරන තැනැත්තාට ලබාදීමට නියමිතය.
වාහන කීපයක තම නම යෙදීමට අවශ්‍ය නම් එම පුද්ගලයාගේ නම යෙදීමෙන් පසු ඒ එක් එක් වාහනයේ 1, 2, 3, 4 ලෙස අංක යෙදිය හැකි අතර යොදන නාමය හෝ වචනය රටේ නීතියට අනුකූල විය යුතු අතර එහි භාෂාව ලෙස ඉංග්‍රීසි පමණක් භාවිත කළ හැකි බව ද වාර්තා වේ.
මෙම ක්‍රමය රටවල් රැසක ක්‍රියාත්මක බවත් එය මෙරට ක්‍රියාත්මක කිරීම පිළිබඳව යෝජනා රැසක් තිබෙන බවත් ලංකාව තුළ නව අංක තහඩු සඳහා ඉල්ලුම් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා සිදුකිරීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියේ ය.