FAST NEWS

24×7 Around the Globe

මානව සංවර්ධන දර්ශකයේ  73 වන ස්ථානය ලංකාවට.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටන (UNDP) විසින් නිකුත් කරන ලද 2015 ගෝලීය මානව සංවර්ධන වාර්තාවට අනුව ලොව 73 වැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ලොවපුරා රටවල් 188 ක් ඇසුරින් සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව පෙර වසරේ 74 වැනි ස්ථානය ලබා සිටි ශ්‍රී ලංකාව 2015 වසරේදී එක් පියවරක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ 0.757 ක මානව සංවර්ධන දර්ශක අගයයක් වාර්තා කරමිනි.

මෙම වාර්තාවට අනුව දකුණු ආසියාතික රටවලින් ශ්‍රී ලංකාවට පසුව ශ්‍රේණිගත කිරීම් හි ඉහළ ස්ථානයක් තහවුරු කර ගැනීමට සමත් ව ඇත්තේ මාලදිවයින පමණි. ඒ 104 වැනි ස්ථානයයි. මාලදිවයින (104), ඉන්දියාව (130), භූතානය (132) හා බංග්ලාදේශය (142) මධ්‍යම මානව සංවර්ධනයක් පවතින රටවල් ලෙසින් හඳුනාගෙන ඇත.

මෙහිදී පාකිස්තානය 147 වැනි තැනට පත්ව තිබෙන අතර නේපාලය (145), පාකිස්තානය (147) හා ඇෆ්ඝනිස්තානය (171) පහළ මානව සංවර්ධනයක් ඇති රටවල් ලෙසින් නම් කර තිබේ.

මෙම අධ්‍යයනයට අනුව ඉහළ මානව සංවර්ධන දර්ශකයක් වාර්තා කර ඇති රටවල් ලෙසින් පිළිවෙලින් නෝර්වේ (1), ඕස්ට්‍රේලියාව (2), ස්විස්ටර්ලන්තය (3), ඩෙන්මාර්කය (4), නෙදර්ලන්තය (5) හා ජර්මනිය (6) නම් කර තිබේ.

ආසියානු රටවලින් පෙරමුණ ගැනීමට දකුණු කොරියාව (17) හා ජපානය (20) සමත් වී ඇත.