FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකා හා මහින්ද පරණ විරසක අමතක කරයි?

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කළයුතු ආකාරය පිළිබඳව එකම මතයක සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (20දා) පැවසුවා.

ඔවුන් දෙදෙනාම පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කරන්නේ නම් ඒ සඳහා සහාය දැක්වීමට සූදානම් බව අමාත්‍යවරයා පැවසුවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මාධ්‍ය ඉදිරියට පැමිණ පක්ෂයේ යම් යම් පුද්ගලයන් විවිධ ප්‍රකාශ කළද රහසිගතව ඊට හාත්පසින්ම වෙනස් දේශපාලනයක් තිබෙන බවයි.

“එක්සත් ජාතික පක්ෂයට කවදාවත් ඡන්දය නොදුන්න අතට හා පුටුවට පමණක් ඡන්දෙ දුන්නු ඡන්ද ලක්ෂ හතක් පසුගිය ජනාධිපතිවරණයේදී අපෙන් ගිලිහී ගියා. අපට හැමදාම තිබුණු මුස්ලිම් ඡන්ද 15% 4% ට බැස්සා. නගරයේ ඡන්ද 35% ක් තිබිලා ඒක 20% ට බැස්සා.
කතෝලික ඡන්ද 40% ක් තිබිලා 20% ට බැස්සා. ඒවා නැවත වෙනස් වෙලා අපට ශක්තිමත් ලෙස, මිත්‍රශීලීව ආකර්ෂණය කරගනිමින්, සියල්ල රැකගනිමින් අපේ අනන්‍යතාව රැකගනිමින් ගමනක් යන්න ඕන“

මාධ්‍යවලින් පේනවට වඩා දේශපාලනික වශයෙන් ලොකු වැඩ කොටසක් කරමින් සිටින බවත් මාධ්‍යයෙන් වසන් වී කරන දේශපාලනයක් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.