සුරූපී තරුණියන් ලෙස ෆේස්බුක්හි ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයන සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා රහස් පොලිසියට ඊයේ (19) නියෝග කළා.
යුද හමුදා නිලධාරියෙකු කරන ලද පැමිණිල්ලක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර තිබෙනවා.
අදාල නිලධාරියාගේ ෆේස්බුක් ගිණුමට කාන්තාවකගේ නමින් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක ලැබී ඇති අතර, ඉන් මිතුරුවූ මෙම දෙදෙනා අන්තර්ජාලය ඔස්සේ සමීප ඇසුරක් පවත්වා තිබෙනවා. අදාල පැමිණිලිකරුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ තරුණියක් ලෙස ව්‍යාජලෙස පෙනීසිටි තැනැත්තා ගෙන්වාගෙන ඇත්තේ මේ අතරතුරය. පසුව එම ඡායාරූප හා වීඩියෝ ප්‍රසිද්ධකරනබවට තර්ජනය කර රුපියල් 2,10,000.00ක මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇතැයි පැමිණිල්ලේ සඳහන්.
මේ පිළිබඳව කරන ලද මූලික පරීක්ෂණ වලදී සංවිධානාත්මක පිරිසක් විසින් මේ අයුරින් තරුණයින් රවටා කප්පම් ලබාගැනීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.