FAST NEWS

24×7 Around the Globe

බිග් බෑෂ් වලින් පසු මහේල හා සංගාට ලංකාවේ වැඩ?

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩකටයුතු සඳහා ‘වැදගත් අයුරකින්’ සහභාගී වනු ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල පවසා ඇත්තේ ඔවුන් තිදෙනා නිරන්තරයෙන් කතාබස් කරන බවත් මහේල සහ සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩකටයුතු සඳහා වැදගත් අයුරකින් සම්බන්ධ කරවීමට තමා කැමති බවයි .

මේ දිනවල සංගක්කාර සහ මහේල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් තරගාවලියට සහභාගී වී සිටින බැවින් ඔවුන් නැවත දිවයින්ට පැමිණි පසු ඒ පිළිබඳව සාකච්ඡා කරන බවද ඔහු තවදුරටත් පවසා තිබේ.

මෙවැනි දැවැන්තයන් හරවත් ලෙස ක්‍රිකට් ආයතනයේ වැඩකටයුතු වලට එක්වීම අවශ්‍ය බවද ඔහු පවසා ඇත.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් පිළිබඳ ගෙන ඇති තාවකාලික පියවර ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තෙක් ක්‍රියාත්මක වන බවද සුමතිපාල මහතා පවසා ඇත.

මේ වනවිට හිස්ව පවතින ප්‍රධාන පුහුණුකරු තනතුරෙහි ජෙරම් ජයරත්න විසින් වැඩ බලයි.

එම තනතුර සඳහා සුදුසු පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කර සිටියද අදාල පුද්ගලයා හට කාලය පිළිබඳ ගැටළු ඇතිවිය හැකි බවද, ඔහු සඳහන් කර ඇත.

මේ වන විට නවසීලන්තයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා පිළ ලංකාවට නැවත පැමිණීමෙන් පසුව එහි ප්‍රධානීන් හමුවී ඔවුන්ගේ ද අදහස් විමසන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.