FAST NEWS

24×7 Around the Globe

දයාසිරි නවසීලන්ත පරාජයට හේතු හොයයි.

නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම දක්‌වන ලද දැඩි අසාර්ථක භාවයට හේතු කවරේද යන්න කණ්‌ඩායම් කළමනාකාරීත්වයෙන් කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ.

නවසීලන්ත පිල සමග පෙරේදා (10 දා) පැවැති දෙවැනි විස්‌සයි/20 තරගයෙන් ශ්‍රී ලංකා පිල අන්ත පරාජයක්‌ ලැබීම මත අදාළ තරග අංශ තුනෙන්ම (ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි/20) තරගාවලි ශ්‍රී ලංකාව අන්ත පරාජයට ලක්‌විය.

මෙම තරගාවලි පරාජයත් සමග නවසීලන්ත සංචාරයට සහභාගිවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ හැසිරීම් පිළිබඳව අයහපත් තොරතුරු වාර්තා වී තිබීමද ඇමැතිවරයාගේ හදිසි මැදිහත්වීමට ප්‍රධාන හේතු කාරණාවක්‌ බවට පත්ව තිබේ.

”කණ්‌ඩායම ආවට පස්‌සේ අපේ කණ්‌ඩායම ඇයි මේ තරම් දුරට අසාර්ථක්‌තවයට පත්වුණේ කියන හේතු විමසීමට මම තීරණය කළා. මේ ගැන ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහත්මයත් සමග සාකච්ඡා කරලා තීරණයක්‌ ගන්නවා. තරගාවලියට සම්බන්ධව කටයුතු කරපු කණ්‌ඩායම් කළමනාකරු, තේරීම් කමිටු සභාපති මෙන්ම ප්‍රධාන පුහුණුකරුගෙනුත් මේ පිළිබඳව වාර්තාවක්‌ ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා”යි ක්‍රීඩා ඇමැතිවරයා ‘දිවයින’ හමුවේ සඳහන් කර සිටියේය.

මෙහිදී වැඩිදුටත් කරුණු දක්‌වා සිටි ඒ මහතා, සංචාරයට සහභාගිවූ ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධව ද තමාට ආරංචි මාර්ග ඔස්‌සේ කරුණු වාර්තා වූ බව පවසන දයාසිරි ජයසේකර මහතා ඒ පිළිබඳවද කරුණු විමසීමට බලාපොරොත්තුවෙන් පසුවන බව සඳහන් කර සිටියේය.

නවසීලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද රාත්‍රී සාද සඳහා කණ්‌ඩායමේ ඇතැම් සාමාජිකයන් ගොස්‌ අලුයම් කාලය වන තෙක්‌ම මත්පැන් බී විනෝද වූ බව ඕක්‌ලන්ඩ් හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙබ් අඩෙවි කීපයකම ඡායාරූප සහිතවම කරුණු වාර්තාවීමත් සමග මේ පිළිබඳව අනාවරණය විය.

”කොහොම වුණත් අපි බලමු අනාගතයේදී මේ වගේ සිද්ධි ඇති නොවන විදියට ක්‍රියා කරන්න” යි ජයසේකර මහතා අවසන් වශයෙන් අදහස්‌ දක්‌වා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු ටී. එම්. ඩිල්ෂාන්ට ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නා ලෙස ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයකු විසින් ඉදිරිපත් කරන ලද අදහසකදී, ක්‍රීඩකයකුගේ සීමාව ඉක්‌මවා යමින් හැසිරුණු බවටද ඩිල්ෂාන්ට චෝදනා එල්ල වී තිබේ.